චීනයේ ජීවත් වන මේ විවාහක යුවළට මුහුණ දෙන්න වුණ සිද්ධිය ඇහුවම ඔබටත් ඒ කතාව විශ්වාස කරන්නම වේවි.
යේ (Ye) සහ ෂු (Xue) කියන්නේ දැන් සතුටින් විවාහ වී දරුවන් දෙදෙනෙකුත් ඉන්න ආදරණීය යුවළක්. දවසක් යේ තම බිරිඳගේ පැරණි ඡායාරූප ඇල්බමයක් පෙරළා බලමින් ඉද්දී ඔහුගේ දෙනෙත් එක පින්තූරයක නතර වුණා. ඒ ඔහුගේ බිරිඳ 2000 වර්ෂයේදී, ඒ කියන්නේ මීට අවුරුදු 20කටත් වඩා කලින් චීනයේ "ක්වින්ඩාඕ" (Qingdao) නගරයේ සංචාරය කරද්දී ගත්තු ඡායාරූපයක්.
තම බිරිඳ තරුණ කාලයේ ගත්තු ඒ පින්තූරයේ පසුපස කොනක සිටි තරුණයෙක් දුටු යේ තිගැස්සුණා. ඒ තරුණයාගේ ඇඳුම සහ ඉරියව්ව ඔහුට හුරුපුරුදුයි වගේ දැනුණා. වහාම තමන්ගේ පරණ පින්තූරත් පරීක්ෂා කරපු යේට අදහගන්න බැරි දෙයක් දකින්න ලැබුණා.
එදා ෂු ඡායාරූපයකට පෙනී සිටිද්දී, ඇය පිටුපසින් තවත් ඡායාරූපයකට පෙනී සිටිමින් හිටපු ඒ නාඳුනන තරුණයා වෙන කවුරුත් නෙවෙයි, ඇගේ වර්තමාන සැමියා වන යේම තමයි..
පුදුමයකට වගේ ඔවුන් දෙදෙනාම 2000 වර්ෂයේ ජූලි මාසයේ එකම දිනයක, එකම වෙලාවක මේ ස්ථානයට සංචාරය කරන්න ඇවිත් තියෙනවා. ඒ වෙනකොට ඔවුන් දෙදෙනා එකිනෙකා අඳුනන්නේවත් නැහැ. ඔවුන් නිල වශයෙන් මුණගැහිලා ආදරය කරන්න පටන් ගන්නේ මේ සිද්ධියෙන් අවුරුදු 11කටත් පස්සේ 2011 වර්ෂයේදීයි.
තමන් මුණගැහෙන්නත් වසර 11කට කලින් එකම පින්තූරයක තමන් සිටි බව දැනගත් මේ යුවළ දැන් කියන්නේ, ඔවුන්ව මුණගස්වන්න දෛවය එදා ඉඳලම සැලසුම් කරලා තිබුණු බවයි.