මෙන්න එවැනිම සංවේදී පුවතක් අද වාර්තා වුණා. මේ කතාව ඇහුවම ඔබටත් හිතේවි ලංකාවේ කෘෂිකර්මාන්තයට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා.
තමන්ගේ දහඩිය මහන්සියෙන් වගා කළ බණ්ඩක්කා අස්වැන්න අරගෙන මේ ගොවි මහතා ඊයේ ඉඳන් කඩවල් ගානේ ගිහින් තියෙනවා. හැම තැනින්ම ලැබුණු පිළිතුර වුණේ "එළවළු ඕනෑ තරම් තියෙනවා" කියන එකයි. ගස්වල තියෙන්න ඇරියොත් බණ්ඩක්කා ටික මෝරලා අපතේ යන නිසාත්, දඹුල්ලට අරන් ගියත් වාහන කුලියවත් ලැබෙන්නේ නැති නිසාත් ඔහු අපූරු තීරණයක් ගත්තා.
"දඹුල්ලට යන්න යන වියදමවත් අපිට ලැබෙන්නේ නෑ. මීට වඩා හොඳයි මට පිනක් කරගන්න ඇත්තැයි කියලා තමයි මේවා නොමිලේ දෙන්නේ..." ඔහු ඉතාමත් සංවේදීව එසේ පවසා තිබුණා.
බණ්ඩක්කා පිරවූ උර තුනක් මහ පාර අයිනේ තබාගෙන, පාරේ යන එන මිනිසුන්ට නොමිලේම ඒවා බෙදා දීමට ඔහු කටයුතු කර තිබුණා. මලුත් අරගෙන ආපු ගම්මුන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට බණ්ඩක්කා පුරවාගෙන යද්දී, මේ ගොවි මහතා ඒ දෙස බලා සිටියේ සතුටු සිතින්.
තමන්ගේ අස්වැන්නට නියමිත මිලක් නොලැබුණත්, ඒ දහඩිය මහන්සිය මහමග දමා යන්නට ඔහුට සිතුණේ නැහැ. ඒ වෙනුවට තවත් කෙනෙකුගේ බඩගින්න නිවන්නට ඔහු ගත් මේ තීරණය මුළු රටේම ප්‍රශංසාවට ලක්ව තිබෙනවා.