දස වධ දීලා හරි හම්බ කරගන්න මිනිස්සු ඉන්න ලෝකෙක, තමන්ගේ නිවෙස්වල දරුවන් වගේ ඇති දැඩි කරපු අහිංසක සුනඛයින් 10 දෙනෙක්ට වස දීලා මරා දමපු පුවතක් ඇහුවම ඕනෑම කෙනෙක්ගේ ඇසට කඳුළක් එන එක නතර කරන්න බැහැ.
කලාවැව, විජිතපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මුහුණ දුන් මේ බිහිසුණු අත්දැකීමේ ඇතුළාන්තය මෙන්න.
මේ මියගිය සත්තු නිකම්ම පාරේ හිටපු සත්තු නෙවෙයි. මියගිය සතුන්ගේ හිමිකරුවන් පවසන විදියට, ඔවුන් පාරේ අසරණ වෙලා හිටපු මේ සුනඛයින්ව ගෙදරට ගෙනත්, ජලභීතිකා එන්නත් ලබා දීලා, පශු වෛද්‍ය කාර්යාලයේ පවා ලියාපදිංචි කරලා හරිම ආදරෙන් හදාගත්ත සත්තු. නිවෙස්වල සිටි සුනඛයින් 12 දෙනාගෙන් 10 දෙනෙක්ම එකම දවසක මේ විදිහට වස දීලා මරා දාලා තියෙනවා.
මේ අහස පොළොව නුහුලන අපරාධය ගැන දැනගත් ගමන්ම Animal Welfare Coalition (AWC) සංසදය මේ ගැන සොයා බලන්න මැදිහත් වෙලා තියෙනවා. ලැබෙන අලුත්ම තොරතුරුවලට අනුව, මේ සාහසික අපරාධය සිදු කළ පුද්ගලයා මේ වන විට හඳුනාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
තමන්ට බහක් දෙන්න බැරි, තමන්ට කන්න බොන්න දෙන අත ලෙවකන සත්තුන්ට මෙහෙම කරන්න තරම් මනුස්සයෙක්ගේ හිතක් කොහොම හයිය වුණාද කියලා ප්‍රදේශවාසීන් ප්‍රශ්න කරනවා.
සත්ත්ව හිමිකරුවන් විසින් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති අතර, දැනටමත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සත්ව හිංසනයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතු කාලයක, මේ අපරාධකරුට ලැබෙන දඬුවම මොකක් වෙයිද කියලා මුළු රටම බලාගෙන ඉන්නවා...