ශ්‍රී ලංකාව ආපදා තත්ත්වයට ලක්කොට ඉන්දියාව දෙසට හමාගිය දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දැඩි වර්ෂාව නිසා චෙන්නායි නගරයේ අභ්‍යන්තර ගුවන් ගමන් 18ක් අවලංගු කර තිබෙනවා.
චෙන්නායි හි පාසල් හා විශ්වවිද්‍යාල වසා දමා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
අද දින චෙන්නායි හි ප්‍රදේශ කිහිපයකින් ඉතා අධික වර්ෂාපතනයක් වාර්තා වී තිබුණා.
ඒ අනුව, එන්නෝර් මිලිමීටර් 260ක්, පාරිස් මිලිමීටර් 250ක්, අයිස් හවුස් මිලිමීටර් 220ක්, මනාලි නිව් ටවුන් සහ පොන්නේරි මිලිමීටර් 21ක් ලෙස වාර්තා වූ බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.
චෙන්නායි හි ප්‍රධාන මාර්ග සහ උමං මාර්ග ගණනාවකට මෙයින් බලපෑම් ඇති වූ අතර, එය ගමනාගමනය අඩාල කිරීමට හේතු වී තිබෙනවා.
අවශ්‍ය වුවහොත් පහත් බිම්වල සිටින සිවිල් වැසියන් ඉවත් කොට සහන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා මහා චෙන්නායි සංස්ථාව විසින් බෝට්ටු 107ක් සූදානම් කර තිබෙනවා.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) ප්‍රකාශ කළේ, නිරිතදිග බෙංගාල බොක්ක, උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරයේ පැවති අවපාතය හෙවත් දිට්වා සුළි කුණාටුවේ ශේෂය අද උදෑසන 8.30 වන විට පැයට කිලෝමීටර් 3ක වේගයකින් සෙමින් දකුණට ගමන් කළ බවයි.
එම වේලාව වන විට කුණාටුව චෙන්නායි සිට කිලෝමීටර් 40ක් නැගෙනහිරින්, පුදුචේරි සිට කිලෝමීටර් 120ක් ඊසාන දෙසින්, කුඩ්ඩලෝර් සිට කිලෝමීටර් 140ක් ඊසාන දෙසින් සහ ආන්ද්‍රා ප්‍රදේශයේ නෙල්ලෝර් සිට කිලෝමීටර් 190ක් දකුණින් පිහිටා තිබුණා.
උතුරු තමිල්නාඩු-පුදුචේරි වෙරළ තීරයේ සිට අවපාතයේ කේන්ද්‍රයට ඇති අවම දුර කිලෝමීටර් 25ක් පමණ බවයි ඉන්දීය කාලගුණ විද්‍යාඥයන් විසින් සඳහන් කර ඇත්තේ.
කාලගුණ අනාවැකි අනුව, ඊළඟ පැය 12 තුළදී මෙය තවදුරටත් දුර්වල වීමට ඉඩ තිබෙනවා.