මේ කාලයේ දී උණ, කැස්ස, සෙම ආදී බොහෝ අපහසුතා වැඩි වශයෙන් දැකගන්න පුළුවන් වගේම තමයි, අයුර්වේදයේ මේ සඳහා නියමිත බෙහෙත් වට්ටෝරු පවතිනවා.
මේ අන්න ඒවායින් කිහිපයක්. කාලගුණය සමඟ වෛරස්වල ක්‍රියාකාරීත්වය ද වෙනස් වෙන අතරම ඒ සමඟම පුද්ගල ප්‍රතිශක්තීකරණයේ ද විවිධ වෙනස්කම් සිදුවිය හැකියි.
ඒ නිසා ඔබටත් මේවා නිවසේදිම අත් හදා බලන්න පුළුවන්. ඒත් දීර්ඝ කාලයක් තිස්සේ මෙකී රෝගවලින් ඔබ පීඩාවිඳිනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමත් වැදගත් බව මතක තබාගන්න..
සෙම උණ සඳහා මූලික අවස්ථාවේ කළයුතු ප්‍රතිකාර
කොත්තමල්ලි කලං 4 යි, ඉඟුරු කලං 1 යි, තිප්පිලි කලං 1 යි අරත්ත කලං 1 බැගින් ගෙන වෙන වෙනම කබලේ බදින්න. ඉන්පසු මේවා එක්කර කොටා පිටිකර ගන්න. ඉන්පසු පැය 8කට වරක් තේ හැඳි 1ක් බැගින් උණුවතුරට දමා පානය කිරීමෙන් මූලික අවස්ථාවේදීම සෙම් උණ සමනය කරගත හැකි වේ.
කටුවැල්බටු, ඉඟුරු, රසකිඳ, තම්බා කසාය ලෙස පානය කිරීම ද යෝග්‍ය වේ.
ඉඟුරු, තිප්පිලි, කලාඳුරු අල, බිං කොහොඹ කසාය ලෙස ලබා දීම යෝග්‍ය වේ.
කැස්ස සමඟ උණ සඳහා ප්‍රතිකාර
ඇඹුල් දොඩම් ඉස්ම, කප්පරවල්ලි ඉස්ම, මී පැණි ගෙන මිශ්‍රකර අවශ්‍යනම් සීනිද මිශ්‍රකර තේ හැඳි 2ක් පමණ පැය 8කට වරක් ලබා ගැනීම යෝග්‍ය වේ. කැස්ස, සෙම ගතිය වැඩි නම් ඉඟුරු ඉස්ම, මී පැණි, සීනි සම සමව ගෙන තේ හැඳි එක බැගින් පැය 8 න් 8ට ලබා ගැනීම සුදුසුය.
කැස්ස ඇත්නම් තාලිසාදී චූර්ණය තේ හැඳි 1ක් මී පැණි සමඟ ලබා ගැනීම වැදගත් වේ.
උණ, සෙම සමඟ කෑම අරුචිය ඇත්නම්, ඉඟුරු, කොත්තමල්ලි, තිප්පිලි, විලඳ පොරි දමා කබලේ බැද කුඩුකර ජලය දමා දවසට දෙවරක් පානය කිරීම යෝග්‍ය වේ. මෙමඟින් වමනය වැනි තත්ත්වද වැළකේ. ඊට අමතරව, බැදිහාල් සමඟ සුදුලූනු බික් දෙකක් ගම්මිරිස් ඇට 2, 3ක් අමු ඉඟුරු කැබැල්ලක් දමා කැඳ සාදා පානය කිරීමෙන්ද තත්ත්වය සමනය වේ.
වියළි ඉඟුරු කැබැල්ලක්, කොත්තමල්ලි ස්වල්පයක් ගෙන කබලේ බැද එය තේ මෙන් වත්කොට පානය කිරීමද යෝග්‍ය වේ.
උණ සමඟ හිසරදය ඇතිවිට
වාෂ්ප ඇල්ලීම, තෛල වර්ග භාවිත කිරීම කළ හැකිය. එරඬු කොළ ස්වල්පයක්, සියඹලා කොළ ස්වල්පයක් යොදා වාෂ්ප ඇල්ලීම යෝග්‍යය.
මීට අමතරව නීර්ගුණ්ඩය වැනි තෙල් හිසට දැමීමද යෝග්‍යය. නික කොළ, සුදුලූනු, රතුලූනු, සියඹලා කොළ, පාවට්ටා කොළ දමා එකට කොටා පොට්ටනි බැඳ හිස වටා තැවීම මඟින් ද උණ සහිත හිසරදය ඉක්මනින් අඩුකරගත හැකි වේ. මේ සරල ප්‍රතිකාර සාමාන්‍ය සේම, උණ තත්ත්වයකදී භාවිත කිරීම යෝග්‍ය වුවත් මේ දිනවල පැතිරී යන වෛරස් උණ, ඩෙංගු වැනි රෝග තත්ත්වවලදී රුධිර පරික්ෂාවක් කර ගැනීම වැදගත් වේ. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්, අධික රුධිර පීඩනය ඇති රෝගීන්, හෘදයාබාධ ඇති රෝගීන්, වකුගඩු රෝග සහිත අය, පෙණහලු ආශ්‍රිත රෝග පවතින අය, උණ තත්ත්වවලදී ඉතා සැලකිලිමත් විය යුතු ය.
සෙම සහිත උණ තත්ත්වයකදී, විවේක ගැනීම ඉතාම අවශ්‍ය කාරණයක් වේ. අනිවාර්යයෙන්ම මහන්සිවීම යෝග්‍ය නොවේ.
සෙම සහිත උණ තත්ත්වවලදී මූලික අවස්ථාවේම ලුණු කැඳ, තැම්බුම් හොඳි වැනි සරල ආහාර භාවිත කරමින් හොඳ සමබල ආහාරවේලක් ලබා ගැනීම ඉතාම වැදගත් වේ. ශරීරය ප්‍රතිශක්තීකරණය ඉහළ නංවා ගැනීම මෙහිදී වැදගත් කාරණයක් වේ.
මීට අමතරව, උණ රෝගය සමඟ මේ සෙම තත්ත්වය ඇතිවිට ගත යුතු තවත්, අත් බෙහෙත් ප්‍රතිකාර කීපයක් මෙසේය.
සෙම තත්ත්වය සහිත උණ හේතුවෙන් නළලේ සියුම් රුධිර නාල ස්වේද නාල ඇහිරී තද හිසරදය ඇතිවිය හැකිය. දහඩිය ගතිය, හිසේ බර ගතිය, නාසයෙන් දියර ගැලීම, පෙණහලු අපහසුතා ඇතිවිය හැකිය. මේ නිසා මූලිකවම මළබද්ධය, ඇඟපත වේදනාව, වියළි කැස්ස ඇති විට ඔබ පහත ප්‍රතිකාර ලැබීම වැදගත් වේ.
කොත්තමල්ලි, ඉඟුරු ගෙන කබලේ බැද එය බීමට දෙන්න.
කොත්තමල්ලි කලං 06 යි, වෙනිවැල්ගැට කලං 06, වියළි ඉඟුරු කලං 02 යි ගෙන හොඳින් තම්බා දිනකට දෙවරක් පානය කරන්න.
වෙනිවැල්ගැට කසාය, දාරුකල්කටාදී කසාය දිය හැකිය. හිසරදය සමඟ සෙම්ගෙඩි ඇති වූ විට, කෝල සෙලෙස්මා වැනි තෛලයක් බාහිරින් හා අභ්‍යන්තරව ආලේප කිරීම කළ හැකිය. ඊට අමතරව ඉඟුරු, ගම්මිරිස්, සුදුලූණු සමඟ කොට පොට්ටනියක් සේ බැඳ උගුරේ තබන්න. එයින් සෙම්ගෙඩි සමනය වේ.
කුඹුරු දළු, සුදුලූණු, නික දළු, යකිනාරං දළු, අමු ඉඟුරු, දෙහි දළු මේවා ගෙන කපා, පසුව කොටා වණ්ඩුවේ තම්බන්න. වතුර කෝප්පයක් පමණ දමා මිරිකා ඒ යුෂට, මී පැණි තේ හැඳි 1ක් මිශ්‍ර කර උදේ සවස පානය කරන්න.
අන්තර්ජාලය ඇසුරෙන්..