ඒ 16 හැවිරිදි වියේ පසුවූ, ජීවිතය ජයගන්නට පෙරුම් පිරූ අහිංසක පාසල් සිසුන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදියක් මකුළුදූව ප්‍රදේශයේදී දුරකථන කණුවක දරුණු ලෙස ගැටී සිදුවූ මාරක අනතුරක් පිළිබඳවයි.
මෙම අවාසනාවන්ත අනතුරින් එකොළොස්වන (11) ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි, පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ දයාබර මිතුරා බරපතල තුවාල ලබා මේ වන විට රෝහල්ගතව ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටිනවා.
අනතුරේ දරුණුකම කෙතරම්ද යත්, වේගයෙන් පැමිණි යතුරුපැදිය කණුවේ වැදීමත් සමඟ එහි ඉදිරිපස රෝදය සහ තවත් කොටස් කිහිපයක්ම කැඩී වෙන්වී මීටර් ගණනාවක් ඈතට විසිවී ගොස් තිබුණා.
පොලිස් විමර්ශනවලදී හෙළි වූ ඇත්ත නම්, මියගිය සිසුවා පදවා ඇති මෙම යතුරුපැදිය විවිධ කොටස් එකලස් කර සාදන ලද එකක් බවයි. වඩාත්ම භයානක කරුණ වන්නේ, එහි වේගය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි කිරීම සඳහා වෙනත් යතුරුපැදියක "එයාර් ෆිල්ටරයක්" (Air Filter) පවා සවි කර තිබීමයි...
යොවුන් වියේ පසුවන මෙම දරුවන් දෙදෙනා මොනතරම් අනාරක්ෂිත ලෙස මහමඟ හැසිරී ඇත්දැයි කියනවා නම්, බයික් එක පැදවූ මියගිය සිසුවාට රියදුරු බලපත්‍රයක් තිබී නැහැ. එමෙන්ම, පිටුපස ගමන් කර බරපතල තුවාල ලැබූ සිසුවා ආරක්ෂක හිස් වැස්මක් පවා පැළඳ නොසිටි බවයි පොලිසිය පවසන්නේ.
ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයකට අධික වේගයෙන් ඉස්සර කිරීමට යාමේදී වේගය පාලනය කරගත නොහැකිව බයික් එක කෙළින්ම ගොස් දුරකථන කණුවේ ගැටී ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් පවසනවා. අනතුරින් පසු සිසුන් දෙදෙනාව වහාම රෝහල්ගත කිරීමට පියවර ගත්තද, පැදිකරු පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කරන විටත් අවසන් හුස්ම හෙළා තිබුණා. බරපතල තුවාල ලැබූ අනෙක් සිසුවා කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
ලස්සනට ඉගෙනගෙන රටක් වටිනා මිනිස්සු වෙන්න හිටපු අපේ දරුවන්ට, වේගය පාලනය කරගන්න බැරුව මහමඟදී මෙවැනි විපතක් සිදුවීම මුළු රටටම මහත් වූ ශෝකයක්. සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.