පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පොර කුකුලෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාවේ, තෙලංගනා ප්‍රදේශයේ අදාළ සිදුවීම වාර්තාවී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කියා සිටියේ.
රාජා යන නාමයෙන් හඳුන්වන අදාළ කුකුළා ඔහුගේ අයිතිකරු වන සතීෂ් යන අයවයි මෙලෙස ඝාතනය කර ඇත්තේ.
තෙංගනා ප්‍රාන්තයේ ගෝලපාලි නමැති ග්‍රාමයේ පොර කුකුල් තරගයක් පවත්වා ඇති අතර ඊට මෙම කුකුළා ද සහභාගී කරවා ඇති බව සඳහන්.
සටන අතරතුරදී පළා යාමට උත්සහා කළ රාජාව අල්ලා ගැනීමට සතීෂ් උත්සහ කිරීමේදී එම සත්ත්වයාගේ පාදයේ ගැට ගසා තිබු කුඩා පිහි තලයෙන් හිමිකරුගේ සංවේදී ස්ථානයක තුවාල සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
අනතුරුව සිදු වූ අධික රුධිර වහනය වීම හේතුවෙන් සතීෂ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් රාජා යන කුකුළාව පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර නඩු භාණ්ඩයක් ලෙස ඉදිරියේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.
ඉන්දියාවේ, පොර කුකුල් තරග තහනම් කර ඇති බැවින් අදාළ තරගයට එක්වූ තවත් 15 දෙනෙකු සොයා වැඩිදුර පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා තවදුරටත් කියා සිටියේ.