කෙනෙකුගේ සිරුර අභිභවා මනසෙහි සිදුවන වෙනස්කම් පුදුම සහගතය. ඒවා විවිධ ස්වරූප ගනී. බරපතළ විපත්තිදායක සිදුවීමක් මගින් ජීවිතය තුළ සිදුවන පෙරළියක් කල් යෑමේදී එම පුද්ගලයා තුළ විවිධ මානසික ව්‍යාධීන් ඇති කරන අන්දම පිළිබඳ නිදසුන් ඕනෑ තරම් තිබේ.
එවැනි මානසික රෝග මනෝ චිකිත්සක ක්‍රමවේදයන් මගින් සුව කිරීම පිළිබඳ අත්දැකීම් ඇසුරින් මෙම ලිපි පෙළ පළවෙයි.
මේ එවැනි කතාවකි.
මහනුවරට තදාසන්න පෙදෙසක ජීවත් වූ රත්නායක යුවළගේ එක ම දියණිය සුමාලිය. ඇය කුඩා කල පටන් ම ඉගෙනීමෙහි දක්ෂ විනීත ගති පැවැතුම් ඇති ඉතා සංවේදී යුවතියක වූවා ය. ගුරු යුවළක් වූ මවුපියන්ගේ අඩි පාරේ යමින් ඇය ද ඉගෙනීම අවසන් කළ පසු ගුරුවරියක හැටියට රැකියාව ආරම්භ කළාය. මවුපියන්ගේ ආදරය, රැකවරණය මෙන්ම ආශීර්වාදය ද ඇයට නිබඳව ලැබිණි.
සුමාලි වයස අවු. 23දී පමණ මහනුවර ප්‍රදේශයේ ම තරුණයකු සමග පෙමින් වෙළුණා ය. ඔහු යුද්ධ හමුදාවේ නිලධාරී මට්ටමේ සිටි යහපත් තරුණයෙකි. කලක් ඇසුරු කිරීමෙන් පසු දෙපැත්තේ ම මවුපියන්ගේ ආශීර්වාදය ද ලබමින් ඔවුන් විවාහය සඳහා දින ද නියම කර ගෙන සිටියේ ය. දෙදෙනාගේ ම දෛවයට කුරිරු ලෙස සරදම් කරමින් මේ තරුණ පෙම්වතා උතුරේ යුද්ධ ක්‍රියාන්විතයකදී හදිසියේ මියගියේ ඒ අතර ය.
මේ බරපතළ ඛේදවාචකය තරුණ සුමාලි තුළ බරපතළ කම්පනයක් ඇති කළේ ය. එම සිදුවීමෙන් පසු ඇය දිගු කලක් වෙනත් ප්‍රේම සම්බන්ධයක් ගැනවත් විවාහය ගැනවත් සිතන්නට පෙලඹුණේ නැත. කාලය වසර 2-3 ගෙවී ගියේ ය.
කාලයත් සමග තරුණ දියණියගේ වයස ද ඉක්ම යන බැවින් ඇගේ සිත හැදූ රත්නායක යුවළ ද ඥාතීන් ද ඇයට වෙනත් විවාහ යෝජනාවක් පිළිබඳ අදහස මතු කළේ ය. ඒ ගුරුවරයකු ම වන යහපත් තරුණයෙකි. පැරණි සිදුවීමේ කම්පනය ක්‍රමයෙන් පහව යමින් සිටි සුමාලි ද එයට කැමැති වූවාය. සියලු දෙනාගේ ම ආශීර්වාදය මැද රංජිත් නම් මේ තරුණ ගුරුවරයා සමග සුමාලි යුග දිවියට එළැඹුණා ය.
එහෙත් විවාහ වූ මුල් දිනයේ පටන් ම සුමාලි කිසියම් රෝගී තත්ත්වයක් පෙන්නුම් කරමින් තිබිණි. පළමු දින රාත්‍රියේ ද සුමාලි රංජිත් ඉදිරියේ දරදඬුව ක්ලාන්ත තත්ත්වයට පත් වූවා ය. නිරෝගී පෙනුමැති රූමත් තරුණියක වූ සුමාලි පිළිබඳ කිසිදු අහිතක් නොසිතූ රංජිත් ඉවසිලිවන්ත තරුණයෙකු ලෙස සියල්ල සන්සුන්ව දරා සිටියේ ය.
කාලය වසර දෙකක් පමණ ගෙවී ගියේ ය. දැන් සුමාලිගේ වයස අවු. 30ක් පමණ ය. තවම දරුවෙකු ද නැත. රත්නායක යුවළ ද මේ පිළිබඳ දියණියගෙන් හීන් සැරේ විමසන්නට වූහ. එක්තරා දිනෙක ප්‍රශ්නය දෙදරා ගියේ ය. රංජිත් සුමාලිව බලෙන් මෙන් ගෙදර ඇරලවූයේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය ස්වරූපයෙනි. මව දරුවන් නැතිකමට වෛද්‍යවරයෙකු කරා දියණිය රැගෙන යෑමට යෝජනා කළා ය. එහෙත් දියණිය හැඟුම්බරව කීවේ මව තුෂ්ණිම්භූත වන කතාවකි.
"ඩොක්ටර්ස්ල ළඟට ගිහින් වැඩක් නැහැ අම්මෙ. රංජිත් හරි හොඳයි. එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නෙ එදා මුල් දවසෙ ඉඳල ම තිබුණා. මේ මුළු කාලෙට ම අපි කවදාවත් එකතු වෙලා නැහැ. එයා හැමදේ ම ඉවසගෙන හිටියා. බැරි ම තැන තමයි මේ තත්ත්වයට ආවේ..."
රංජිත් තමා ළඟට එන විට ලොකු බයක් දැනෙන බවත් ශරීරය තද වී සිත බියකින් වෙළී යන බවත් අඹු සැමියන් ලෙස මෙතෙක් එක් වන්නට නොහැකි වුණු සිදුවීම දියණිය කීවේ මව වේදනාවට මෙන් ම විමතියට පත් කරමිනි.
මෙවැනි අවස්ථාවක මවුපියන්ගේ දැන උගත්කම් ගිලිහී දරුවා වෙනුවෙන් සාස්තර ශාන්තිකර්ම පිහිට පැතීම අපේ සමාජයේ සුලබ දෙයකි. යන්ත්‍ර මන්ත්‍ර පිහිට පැතීම ස්වාභාවිකය. එවැනි දෙයට යොමු වුව ද ඉන් පලක් වූයේ නැත.
මවගේ කටින් අතීතය පිළිබඳ යමක් අල්ලා ගත් සාස්තර මෑණියක කීවේ, "ඔව් මේ දියණියගේ කලකට පෙර ප්‍රේම සම්බන්ධයකින් වෙළුණු කෙනා මිය ගියා. ඔහු තමන්ගේ දියණියට පණ මෙන් ආදරය කළා. එයා තමයි මේ දරුවගේ ඇඟ බැඳලා තියෙන්නේ..."
ඒ ඔස්සේ ලොකු මුදලක් වියදම් කරමින් පොඩිපහේ යාගයක් ද කරන්නට සිදු විය. එහෙත් ඊට පසුවදාත් පෙර සේම මේ යුවතිය බියපත්ව දඟලන්න වූවා ය. සැමියා රංජිත් සන්සුන්ව තත්ත්වයට මුහුණ දුන්නේ ය.
ඔවුන් උපදේශන මනෝ චිකිත්සක මේජර් සුසන්ත ද සිල්වා වෙත පැමිණෙන්නේ ඔය අතරය. මේ තත්ත්වය ඔහු පැහැදිලි කළේ මේ අයුරිනි.
"ඔවුන් සමග කතා කරන විට ඔවුන්ගේ ජීවිතවල දුක කලකිරීම හා විඩාව මනා ලෙස පැහැදිලි වුණා. සත්‍ය වශයෙන් ම ඇයට කිසිදු අමනුෂ්‍ය බලපෑමක් නෑ. ඉතා සංවේදී විනීත යුවතියක් ලෙසයි කුඩා කල සිට ම හැදී වැඩී තිබෙන්නේ. අර හමුදා නිලධාරියා හැර වෙන කිසිදු විරුද්ධ ලිංගිකයෙකු පිළිබඳ ඇය සිතලාවත් නෑ. මේ පෙම්වතා කෙරෙහි දැඩි භක්තියක් ද ආදරයක් ද ඇයට තිබුණා..."
මේ අයුරින් කුඩා කල සිට ම හැදී වැඩුණු දරුවකුට මෙවැනි තත්ත්වයකට සමහර විට මුහුණපෑමට සිදු වෙයි. මෙය ඉතා පහසුවෙන් සුව කළ හැකි මානසික තත්ත්වයකි. අඹු-සැමි ලිංගික ඇසුරකට යෑමට උත්සාහ කිරීමේදී යටි සිත විසින් කරනු ලබන විපර්යාසයන් නිසා බාහිර ශරීරයේ වෙනස්කම් සිදුවිය හැකි බවත් සුමාලි පෙළී තිබුණේ එවැනි තත්ත්වයකින් බවත් මේජර්වරයා පැහැදිලි කළේ ය.
"ඇය දැනුවත් කිරීම සඳහා මනෝවිද්‍යා උපදේශන ක්‍රම කීපයක් ම භාවිත කළා. යටි සිත තුළ කාලයක් තැන්පත්ව තිබූ යම් යම් මතකයන් සමනය කිරීම සඳහා මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක් වන මෝහනය භාවිත කළා. ඒ නිද්‍රාව තුළදී ඇගේ සිතට වධ දුන් අසුබ සිතිවිලි ඉවත් කොට සුබවාදී සිතිවිලි අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැන්පත් කරන්නට හැකි වුණා. සැසිවාර 3කදී පමණ ඇය සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. අසතුටින් හා අඬදබරවලින් ගෙවී ගිය කාලය අවසන් කොට ඔවුන් දැන් සතුටින් ඉන්නවා..."
තිස්ස කොරතොට - මව්බිම