“තාත්තා පුතා පොඩි කාලෙම ඇක්සිඩන්ට් වෙලා නැති වුණා.
මට හැමදේටම ඉන්නෙ පුතා විතරයි.”
හෙද නිළධාරිනී පුෂ්පා රම්‍යානී ද සොයිසා කියන්නේ මුහුණු පොතේ නිතරම දකින්නට ලැබෙන කාගෙත් ආදරය දිනාගත් චරිතයක්.
ඇය නිතරම වගේ ඇගේ ජීවිතේ සැබෑ අත්දැකීම් මුහුණු පොතේ සටහන් කරනවා. මේ කතාවත් එවැනි කතාවක්...
ස්වයං ජීවිත විවරණයේ තව දවසක්ඩී එස් සේනානායක විද්‍යාලයේ දරුවන් (එනම් බේස් බෝල් කංඩායමේ) 09 ක් මිය ගිය දවස එදයි.
ඒ 2008 වසරේ පෙබරවාරි 03 වන දිනය.පෙබරවාරි මාසය වසර 25 ක සේවා අත්දැකීම් තුළ බොහෝ වේදනාවන් එක් කල මාසයක් හැටියට සදහන් කල හැකිය.සුපුරුදු පරිදි උදෑසන 7 ට හදිසි අනතුරු අංශයේ මා කාර්ය භාර හෙද නිළධාරිණිය පාරිපාලනය කරන රෝගී වර්ගීකරණ සහ තොරතුරු මධ්‍යස්ථානයේ සේවය ආරම්භ කළෙමි.කොපමණ බෝම්බ පිපිරුනත් එකලද එක් දිනකට ප්‍රතිකාර ගැනීමට එන පිරිස 250 ක්. ඔවුන් සදහාද ප්‍රතිකාර ලබා දීම අප කාර්ය මංඩළය අතින් සිදුවිය.දහවල් වන විට වෙනදා මෙන් නලා ශබ්ද කරමින් කෑ ගසමින් මුලින්ම පැමිණියේ ත්‍රිරෝද රථ කිහිපයකි.එම රථ ආ ආකාරයෙන්ම එය කුමක්දැයි අප වටහා ගෙන තිබිණි.එයින් බැස ගත් තරුණයෙක් ඔලුව බදාගෙන කෑගැසුවා “බෝම්බයක් පිපිරුණා මිසී බෝම්භයක්” කියලා. අපි වහාම ආපදා සැළසුම ක්රිරයාත්මක කිරීම ඇරඹුවා. මා වහාම රෝගීන් වර්ගීකරණය ආරම්භ කලා. මගේ දෙවන හෙදිය සියලු පරිපාලන සහ ඒකක සදහා පනිව්ඩ ලබා දීම ඇරඹුවා. ඒ අනුව වාට්ටු හිස් කිරීමටත්, හදිසි නොවන ශල්‍යකර්ම නතර කර මෙම නව රෝගීන් ශල්‍යකර්ම කිරීම සදහා සූදානම් කල යුතුය. තෙවන හෙදිය සහය කංඩායම් යොදමින් රෝගීන් ගැනීමට ට්‍රොලි , පුටු එකතු කිරීම ඇරඹුවා. මෙහිදී ආපදා සදහාම ට්‍රොලි පුටු වෙන් කර තිබුනත් එන රෝගීන් ගණන පිළිබදව නොදන්නා හෙයින් සියලු වාට්ටු වල ඇති රෝද පුටු, ට්‍රොලිද සියල්ලම හදිසි අනතුරු අංශයේ රෝගීන් ඇතුළත් කරන ස්ථානයෙහි එකතු කල යුතුය.මේ සියල්ල මෙසේ සිදු වන අතර හදිසි අනතුරු අංශයම එකම මළගෙයකි.මා භාර ගන්නා සියලු රෝගීන් මිය ගොස්ය. හිස මුඩුකොට භද්‍ර යෞවණයේ සිටි ඔවුන් දිස්වූයේ හමුදාවේ අය ලෙසයි.ගස් ගල් වගේ සිටි ශක්තිමත් එම සිරුරු අප්‍රාණිකව ගෙන ආ දර්ශණ හදවතට බොහෝ රිදුම් දුනි. මේ වන විට මා භාර ගත් මළසිරුරු ගණන 14 කි. ඔවුන් වෛද්යග නිගමණය සදහා තාවකාලිකව සකස් කල මෝචරියෙහි තැන්පත් කළෙමු.එපමණක් නොව වැළ නොකැඩී ගංගාවක් සේ එන රෝගීන් සියය ඉකමවා ඇත. සෑම අතින්ම බිදුණු සිරුරු මනසින්ද වැටී තිබිණි. ඔවුන් සනසලීමටවත් චවනයකින් හෝ සම්මාදන්වීමට අපට නොහැකිය. ඒ කාලයද ප්‍රතිකාර සදහා ක්ෂණිකව යොමු කල යුතුමය. එයයි අපගේ කාර්යභාරය.එන සෑම රෝගීයාම නිසි ස්ථානයට යොමු කල යුතුය. ඉතාමත් අවධානම් රෝගීයා -ප්‍රතිජීවණයට වහාම යොමු කල යුතුය. , අවධානම් තත්ත්වයට පත් වෙමින් සිටින රෝගීන් දෙවන ප්‍රමුඛස්ථානයට ලක් කර බාහිර රෝගී අංශයට යොමු කල යුතුය. ඇවිද එන රෝගීන් බොහෝ විට ලක් කරනුයේ තුන් වන ප්‍රමුඛස්ථානටයි. ඔවුන් හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර කිරීමක් සිදු නොකරන අතර ඒ සදහා වෙන් කර ඇති ශල්‍ය වාට්ටු සදහා ඔවුන් යොමු කල යුතුය. මෙම ක්‍රියාවලිය Triage ලෙස හදුන්වන අතර එහි සේවාවන් පිළිබද සියලු දෙනාම දැන ගත යුතුය. අප ලබා දෙන ප්‍රමුඛස්ථානය අනුව රෝගීන් ගෙන යන සෞඛ්‍ය සහාය කංඩායම්ද රෝගීන් නිසි තැනට ගෙන ගොස් භාර දීම දැන සිටිය යුතුය.ඔපැමිණි පිරිස අතර සිහි ඇතිව නමුත් අසාධ්‍ය තත්ත්වයෙන් පපුව අල්ලා සිටි එක් සිසුවෙක් මා ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කරන විට ඔහු මගෙන් උදව්වක් ඉල්ලා සිටියේය.“මිස් මට ඉන්නෙ අම්මා විතරයි. එයාට කියන්න එපා මට අමාරුයි කියලා. එයා ගොඩාක් බය වෙයි . එයා මට පනටත් වඩා ආදරෙයි මිස්” කදුලු පිරුණ ඔහුගේ කථනය මාගේ නෙතටද කදුලක් එක්කලද, ඔහු කථා කරන අවස්ථාවේදී මට නිරීක්ෂණය වූයේ පපුව තුළ විනිවිද ගිය තුවාලයකි. බාහිරයට රුධිර ගැලීමක් නොපෙනුනද ඔහුගේ සුදුමැලි පෙනුම, අධි වේගයෙන් ගැහෙන හදවත, වේගවත් හුස්ම ගැනීම, සිරුර පුරා දහඩියෙන් තෙත්වී ඇතිබව පෙන්නුම් කලේ ඔහුගේ ජීවිත අවධානමයි.“අනිවාර්යෙන්ම මම එහෙම කරන්නම්. ඒත් ඔයා ඉක්මනට සනීප වෙයි”මම ඔහුගේ භිය දුරුකරමින් ඉතා අසාධ්යු රෝගීන් ප්‍රතිකාර කරන කාමරයට ඔහුව යොමු කළෙමි.සියලු රෝගීන් පැමිණ අවසන්.....දැන් ක්‍රම ක්‍රමයෙන් පැමිණුනේ ඔවුන්ගේ ඥාතීන්ය. මිය ගිය සියලුම දරුවන් ඩී එස් සේනානායක විදුහලේ ක්‍රිඩක කංඩායමක් බව මේ වන විට අප දැණූවත්ය. ඔවුනගේ දෙමාපියන් තැනින් තැන සිට හිස් බදාගෙන හඩමින් සිටියහ. මුලු හදිසි අනතුරු අංශයම මළ ගෙයක් මෙනි.ඒ අතරතුර තවත් එක් මවක් හිමින් හිමින් පාද තබමින් මා වෙත පැමීණීය.ඉන්පසු ඇය බොල් හඩින් මා ඇමතීය “මිස් මගේ පුතා... ගෙනාවයි කිව්වා. එයාට කොහොමද” ඇය කිව් නම මට ක්ෂණිකව මතක් විය. “ආ එයාව මම තමයි භාර ගත්තෙ අම්ම පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න මම ඉන්න තැන බලනකම් “ මම ඇයව සනසමින් ඔහුව සෙව්වෙමි.අප අංශයේ සියලූම ශල්‍යගාර රෝගීන්ගෙන් පිරී ඉතිරී තිබූ බැවින් ඔහුව ප්‍රතිජීවණයෙන් පසුව වෙනත් අංශයක ශල්‍යගාරයක් වෙත යොමු කර තිබුණි. මම එම ස්ථානයට දුරකථනයෙන් කථාකළෙමි. “මිස් මට කියනවද ....... තත්ත්වෙ කොහොමද කියලා. එයාට මොකක්ද කරපු ඔපරේෂන් එක.” ඇය “මිස් අපි එයාව ගත්තා ටේබල් එකට ඒත් එක පාරටම එයා අරෙස්ට් වුණා අපි රිසසිටේට් කරා ගොඩාක් වෙලා . ඒත්..................”ඇය කිව් දෙයින් මටද විශාල කම්පනයක් දැණුනි. ඔහු මිය ගිහින්.......ඔහුගේ මව පුටුවෙන් නැගිට මා වෙත පැමීණියේ මගේ ස්වභාවය නිසා විය හැකිය. “මේ අම්මගේ ගෙදර වෙන කව්රුත් ඉන්නවද?” “ අනේ නැහැ මමයි පුතයි ඉන්නෙ. පුතාගෙ තාත්තා පුතා පොඩ් කාලෙම ඇක්සිඩන්ට් වෙලා නැති වුණා. මට හැමදේටම ඉන්නෙ පුතා විතරයි.” ඇහැට කදුල උනමින් ඇය පැවසීය.අපටද විකල්පයක් නැත. ඇය විශ්වාසය රැදි මුහුණින් මාවෙත දෑස් දල්වා සිටී. “එන්නකො අපි වාඩිවෙමු. මම ඇයට වටේ සිටින සියලු දෙමාපියන් පෙන්වූයෙමි. ඔවුන් සියලු දෙනාටම දරුවන් අහිමි වූ බව පැවසුවෙමි. ඇය ටිකින් ටික මළානික වූවද මා ඇත්ත පැවසූවෙමි. ඇය මා බදාගෙන කොපමණ වේලාවක් හැඩුවේදැයි මටද මතකයක් නැත......වියෝවෙහි යථාර්ථය අත් විදිය හැකිවන්නේ එය විදින කෙනා පමණි.එම බෝම්බ පිපුරුමෙන් අනතුරු වූ ගණන 105කි. මරණ 14 කි. සුනු විසුණු ශරීර කොටස් කිහිපයකි.(මෙම ජායාරෑප අන්තර් ජාලයෙනි )