සිංහල අලුත් අවුරුද්දට පෙර බස්නාහිර පළාතේ ජනගහණයෙන් වැඩි පිරිසකට කොරෝනා එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ වෛරසය අනෙකුත් පළාත්වලට ව්‍යාප්තවීමේ අවදානම අවම කර ගැනීම එහි අරමුණ බවයි.
කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව මේ වනවිට පුද්ගලයින් තුන්ලක්ෂ 38,769 කට එන්නත් ලබාදී ඇති අතර, ඊයේ දිනයේදී එන්නත් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 35,912 ක්.
මෙරටින් ඊයේ වාර්තා කොරෝනා ආසාදිතයින් 518 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් වූ 214 දෙනෙකු වාර්තා වූයේ බස්නාහිර පළාතෙන්.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් එකසිය විසි දෙදෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
එසේම, මහනුවර දිස්ත්‍රික්කයෙන්ද ඊයේ කොරෝනා ආසාදිතයින් 85 දෙනෙකු වාර්තා වුණා.
කොරෝනා දෙවන රැල්ල ආරම්භ වූ පසුගිය වසරේ ඔක්තෝම්බර් 04 වැනිදා සිට මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 73,202 ක් හඳුනාගෙන ඇති අතර, ඉන් වැඩිම සංඛ්‍යාව වූ 28,894 ක්ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම කාලය තුළ ආසාදිතයින් 16,050 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6,079 ක් වාර්තා වී තිබෙනවා.
මේ අතර, බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, බන්ධනාගාර ආශ්‍රිතව මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4775 ක් වන අතර, සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4613 ක්.
ඊයේ කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ මරණ 10 ක් වාර්තා වූ අතර, ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 445 ක්.
මරණවලින් 72.21% ක්ම වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් අතරින්.