කලවාන ප්‍රදේශයේදී සැමියාගේ බෑගයේ කාන්තාවකගේ යට ඇඳුමක් තිබීම නිසාවෙන් ඔහු බිරිඳගෙන් හොඳ හැටි ගුටි කෑ පුවතක් පිළිබඳව වාර්තා වෙනවා. මෙලෙස බිරිඳට ඇඳුම අසුවී තිබෙන්නේ ඔහු නිවසට බඩු ගෙන ආ මල්ලේ තිබියදීයි.
සෙනසුරාදා පොළෙන් බඩු රැගෙන බිරිඳ කලකට පෙර ඉල්ලා සිටි සෙරෙප්පු යුවලක්ද කළු පැහැති උරයක දමාගෙන මෙම පුද්ගලයා නිවසට පැමිණ තිබෙනවා.
ඒ අතර කඩයක් ළඟ නැවතී බෑග් එකද බිම තියා බුලත් විටක් හපන්නට ගොස් ඇති මොහුගේ මල්ල දළු කඩා වැඩ අවසන් වී ගෙදර යන කාන්තාවකගේ බෑගය සමඟින් මාරු වී තිබෙනවා.
මේ වගක් නොදත් පුද්ගලයා මල්ලත් රැගෙන නිවසට ගොස් ඇති අතර ගෙනා සෙරෙප්පු දෙක සඟවා බිරිඳව පුදුම කරන්නට ගොස් තිබෙනවා. මෙය දුටු බිරිඳ හනිකට අදාල ස්ථානයට ගොස් මල්ල පරීක්ෂා කර ඇති අතර එහි වූ දේ දැකීමෙන් ඇයට දෙලොව රත් වී තිබෙනවා.
එහි වූ යට ඇඳුම්, සබන් කැබැල්ල හා තුවාය දුටු ඇය යකා නැග බෑගයද රැගෙන සැමියා ළඟට ගොස් ‘‘තමුසේ අද කොහෙද ගියේ‘‘ යැයි අසා තිබෙනවා. එයට සිනාසී පිළිතුරු දුන් සැමියා පවසා ඇත්තේ ‘‘කොහේ ගියාම මොකෝ ඇතුළේ තියන දේ දැක්කම සතුටු නැද්ද‘‘ යනුවෙනුයි.
තරහ දෙගුණ තෙගුණ වුණු බිරිඳ එම අවස්ථාවේම වැරදි වැඬේ කරලා ඒවා මට පෙන්නන්නත් ගෙනවා නේද? යයි පවසමින් අසල තිබූ දර පොල්ලක් රැගෙන සැමියාට හොඳ හැටි පහර දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙනවා.