ඇය සහ සහරාන් කොළඹ ස්ථාන රැසකම කළක් තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. එමෙන්ම තවත් තොරතුරු රැසක්ද ඇය එහිදී හෙළිදරව් කර තිබෙනවා.
මේ අතර, මන්නාරම - ශාන්තිපුරම් ප්‍රදේශයේ ඊයේ සිදුකළ වැටලීමකදී සී - ෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12ක් සහ කාලවිරාම පරිපථ 6ක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි මාධ්‍ය ඒකකය සඳහන් කළේ අත්අඩංගුවට ගත් කාල විරාම පරිපථ 6 එම ස්ථානයේදීම විනාශ කළ බවයි.
ජහුෆික් ජහමාත් උල්ලා සංවිධානයේ දේශන ඇතුළත් සී.ඞී, 20ක් සමඟ පුද්ගලයෙකු අංකුඹුර - ගල්හින්න ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරු කොළඹ ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ බවට ද සැක කෙරෙනවා.
එමෙන්ම හොරණ ප්‍රදේශයේ වෙළදසැලක යුද හමුදා නිළ ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මීට අමතරව සයින්දමරුදු - ජුම්මා ග්‍රෑන්ඞ් පල්ලිය ඉදිරිපිට සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකුද ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
එමෙන්ම, මහඔය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ජාතිවාදී ආරවුල් ඇතිවන ආකාරයේ උද්වේගකාරී වීඩියෝ දර්ශන පට ඇතුලත් ජංගම දුරකථනයක් ළඟ තබාගත් පුද්ගලයෙකුද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව අනුරාධපුරය - කැකිරාව ප්‍රදේශයේ තිබී සැකකටයුතු ලේඛන සහ පොත්පත් කිහිපයක් පොලීසිය සොයාගෙන තිබුණා. පසුව එම ලේඛන හිමි කැකිරාව තවුහිත් ජමාත් සංවිධානයේ සංවිධායක ලේකම්වරයාද අත්අඩංගුවට ගෙන තිබුණා.
මීට අමතරව දඹුල්ල - වෑවල ප්‍රදේශයේ පෙර පාසල් ගොඩනැගිල්ලකට රහසිගතව ඇතුල්වූ පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රදේශවාසින් විසින් අල්ලා පහරදී දඹුල්ල පොලීසියට භාරදී තිබෙනවා.
කෙසේ වෙතත් පසුව අනාවරණ වී ඇත්තේ මෙම මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනා එම පෙර පාසලේ තිබූ මුදල් එක්රැස්කර ඇති කැට කිහිපයක් සොරකම් කිරීමට පැමිණ ඇති බවටයි.
ඔවුන් අද දඹුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
හෙම්මාතගම නගරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිල ඇඳුම්වලට සමාන රෙදි තොගයක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ නගරයේ පිහිටි පෞද්ගලික ඇඟළුම් හලක තිබියදියි. සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු අත්අඩංගුවට ගෙන මාවනැල්ල දිසා විනිසුරු උපුල් රාජකරුණා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මේ අතර, උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය මුල්කරගනිමින් උතුර පළාත තුළ වැඩි වශයෙන් හමුදාව යෙදවීම අනුමත කළ නොහැකි බවයි.
පොලීසියට අවශ්‍ය බලතල ද ලබාදිය යුතු බවයි ඔහු එම නිවේදනයෙන් දක්වා ඇත්තේ.
කෙසේ වෙතත්, රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් උතුරට යළි හමුදා ආරක්ෂාව අවශ්‍ය වන බව දෙමළ ජාතික සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පසුගිය දා ප්‍රකාශ කළා.