ජීවත්ව සිටීමට නිවසක් නොමැති නිසා ඇවිදීමට නොහැකි තම ආබාධිත දරුවාද සමග මීට සතියකට පෙර මනම්පිටිය පොළ ගොඩනැගිල්ලට පැමිණ අසරණව දිවිගෙවන මව්පිය යුවලක් ගැන වාර්තාවනවා.
49 වන වියේ පසුවන ගාමිණී වීරකෝන් සහ මංගලිකා ප්‍රනාන්දු යුවළට දාව උපන් දරුවන් තිදෙනෙක් සිටිනවා.
ඉන් ගැහැණු ළමුන් දෙදෙනාම විවාහ වී ප්‍රදේශයෙන් දුර බැහැර පළාතක ජීවත් වූවද මව්පියන් ගැන සොයාබලා උපකාර කිරීමට ඔවුන්ට වත්කමක් නැහැ.
අවුරුදු 19ක් වන සුරංග මධුසංක වීරකෝන් නමැති උපතින්ම ආබාධිත දරුවා රැගෙන වසර කිහිපයක් සෙවනපිටිය ප්‍රදේශයේ අනවසර ඉඩමක පැල්පතක් යටයි මෙම පවුල ජීවත් වුණේ.
මෙම අසරණයින්ගේ පැල්පත කිසියම් පිරිසක් විසින් කඩා එහි තිබූ බඩු මුට්ටු රැගෙන ගිය පසු මොවුන්ගේ නිවහන වූයේ මෙම පාලුවට ගිව මනම්පිටිය පොළ ගොඩනැගිල්ලයි.
ගාමිණී සපත්තු, කුඩ අලුත් වැඩියා කරමින් උපයා ගන්නා සොච්චමින් ඔවුන්ගේ කුස පුරවා ගැනීමටවත් ප්‍රමාණවත් නැහැ.
ජීවිත කාලය පුරා ස්ථිර නිවසක සිට නොමැති මෙම අසරණ පවුලට රජයෙන් කියා ලැබෙන්නේ බෙහෙත් ටික පමණක් බවයි ඔවුන් පැවසුවේ.
තමන් අද මුහුණ පා ඇති දුක්බර සිදුවීම ගැන මංගලිකා පැවසුවේ මෙවන් දෙයක්.
"අපි ජීවිතේටවත් ගෙයක් යට ඉඳලා නැහැ. අපිට ඉඩමකුත් නැහැ. ගහක් යට පැල්පතක් හදාගෙන දරුවන් තුන් දෙනා ලොකු කරගත්තේ සපත්තු , කුඩ හදලා ගත්තු මුදලිනුයි. සෙවනපිටියේ හදාගෙන හිටපු පැල්පතත් කඩලා දැම්මා. ඒ ඉඩම අයිති කරගන්න ඉන්න අයයි ඒක කැඩුවේ. පස්සේ මගේ දරුවා අරන් පයින්ම මේ පොළ ගොඩනැගිල්ලට ආවා. අපි මේ පළාතේ මන්ත්‍රීවරුන් ලඟට ගියා , උදව් ඉල්ලුවා අපි අසරණ නිසා උදව් කළේ නැහැ. නමුත් අපි ඡන්දෙ දෙනවා. රජයෙන් කියලා ලැබෙන්නේ මේ දරුවට බෙහෙත් ටික විතරයි. අපි නියම සිංහල පවුලක් හිඟා නොකා සපත්තු , කුඩ මහලා හොයාගන්න මුදලින් අපි ජීවත් වෙනවා. ඉතිං අපිට කවුරුන් හෝ ඉඩමක් ගෙයක් හදලා දුන්නොත් ලොකු පිනක්" . ඇය ඉල්ලා සිටිනවා. VIDEO
මනම්පිටිය - නිමල් ජයරත්න