මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේ නිවසක් තුළදී 58 හැවිරිදි දෙදරු මවක ගෙල සහ මුඛය තෙරපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි සැකකරුවක් අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි, වෘත්තියෙන් පොල් කඩන්නෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක්.
සිද්ධියෙන් මියගොස් තිබුණේ කැන්නන්තුඩාව, හල්තොට ලිපිනයේ පදිංචිව සිටි පී. සුධම්මි පල්ලියවත්ත නමැති විවාහක කාන්තාවක්.
ඉකුත් 11 වනදා මෙම කාන්තාව නිවස තුළ මියගොස් සිටින බවට අසල්වාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබුණා.
මූලික නිරීක්ෂණවලදී කිසිදු සැකයක් මතු නොවූ බැවින්, දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත යොමු කිරීමට පියවර ගැනුණා.
කෙසේ වෙතත්, 13 වැනිදා පරීක්ෂණ කටයුතු ඇරඹීමේදී මියගිය කාන්තාවගේ ගෙල ප්‍රදේශයේ දක්නට ලැබුණු තැලුම් සලකුණු හේතුවෙන් මෙය සැක සහිත මරණයක් බවට වෛද්‍යවරුන් විසින් පොලිසියට දැනුම් දී තිබුණා.
අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු හොරණ මහේස්ත්‍රාත් කේ.පී.ආර්. ලක්මිණී විදානගමගේ සිද්ධිය වූ නිවෙසට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කළා.
අනතුරුව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලවා පරීක්ෂණය පවත්වන ලෙස නියෝග කෙරුණා.
ඒ අනුව, හොරණ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සඳකැන් වඩුගේ විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවා.
එහිදී අනාවරණය වූයේ ශ්වසනය අවහිර වන ආකාරයට නාසය, මුඛය, ගෙල සහ උරහිස් ප්‍රදේශය බාහිර බලයකින් තෙරපීම නිසා සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් බවයි.
වෛද්‍ය වාර්තාවෙන් පසුව ක්‍රියාත්මක වූ මිල්ලනිය පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකින් පසු මෙම ඝාතනයට සම්බන්ධ සැකකාර පොල්කඩන්නා අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරු අද (15) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මිල්ලනිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.