කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් දෙණියාය අධ්‍යාපන කලාපයේ පාසල් හතරක වෛරස් උණ රෝගය පැතිර යෑමට හේතුව වෛරසය ජල මූලාශ්‍රවලට එක්වීම නිසා ජලය අපිරිසුදු වීමෙන් හෝ ආහාරවලින් බව කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මහින්ද වික්‍රමසිංහ පවසනවා.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩුගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (11) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා ද එක්ව සිටියා.
මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණේ දෙණියාය අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයකින්ම උණ රෝග ලක්ෂණ සහිත දරුවන් වාර්තා වීමත් සමඟ රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි. දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛතාව ලබා දෙමින් සෞඛ්‍ය හා අධ්‍යාපන අංශ ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක විය යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.
රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා පාසල් දරුවන්, මවුපියන් සහ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ක්ෂේත්‍ර පරීක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු වැඩිදියුණු කිරීම සහ උණ රෝග ලක්ෂණ සහිත දරුවන් හඳුනාගෙන කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම පිළිබඳව ද සාකච්ඡා වුණා
එමෙන්ම දෙණියාය කලාපයේ සියලු පාසල් පරිශ්‍ර, පන්ති කාමර, වැසිකිළි පද්ධති, ජල ටැංකි, ජල කරාම සහ පාසල් පරිසරය විධිමත් ලෙස පිරිසුදු කිරීම සඳහා විශේෂ පිරිසුදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද අවධානය යොමු වුණා. පාසල් ප්‍රජාව, මවුපියන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කර පරිසරයේ පිරිසුදුකම සහ සනීපාරක්ෂාව ඉහළ නැංවීමට ද තීරණය කෙරුණා.
ඊට අමතරව දෙණියාය ප්‍රදේශයේ ක්‍රියාත්මක මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සහ පෙර පාසල් තුළ ද මෙම රෝග තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා.
කුඩා දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙර පාසල් පරිශ්‍ර පිරිසුදු කිරීම, දෛනික සනීපාරක්ෂක ක්‍රියාමාර්ග දැඩිව අනුගමනය කිරීම, දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සහ මවුපියන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද යෝජනා වුණා.
මෙම වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහයෝගය ලබා ගැනීමේ අවශ්‍යතාවද මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරුණු අතර, පාසල් හා පෙර පාසල් පරිශ්‍ර පිරිසුදු කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය, ජල පහසුකම් නඩත්තු කිරීම, ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමට ද තීරණය කර ඇත්තේ.
සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් මාර්ගෝපදේශ අනුව පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ට නිවෙස්වලින් උතුරවා නිවාගත් ජලය රැගෙන ඒම, අත් සෝදා ගැනීමේ පුරුදු වර්ධනය කිරීම, මුඛ ආවරණ භාවිතය පිළිබඳ දැනුවත් කිරීම, උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතින දරුවන් අදාළ ආයතන වෙත නොඑවීම සහ ආපණශාලා හා ආහාර සකස් කරන ස්ථානවල සනීපාරක්ෂාව දැඩිව පවත්වාගෙන යෑම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරුණා.
තවද පාසල්වල හා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුළ දිනපතා සෞඛ්‍ය නිරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රෝග ලක්ෂණ සහිත දරුවන් පිළිබඳ වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කිරීම සහ අවශ්‍ය වුවහොත් විශේෂ ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම් සුධර්මන් වෛද්‍යරත්න, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ සහකාර ලේකම් එච්.ඩී.ඩී.එස්.ඩබ්. හේරත්, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිෂාන් කේ.ආර්. පතිරණ, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න උපාලි වීරසේකර යන මහත්වරුන් සහ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එන්.පී.එස්.පණ්ඩිතරත්න, කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මහින්ද වික්‍රමසිංහ, දෙණියාය මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය රන්දිව් අබේවික්‍රම අධිකාරි රන්දි අබේවික්‍රම ඇතුළු සෞඛ්‍ය අංශයේ වෛද්‍යවරුන්, වගකිවයුතු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වුණා.
දිනමිණ පුවත්පත ඇසුරෙන්..