කුරුණෑගල ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සදරු දෙව්මිණ බණ්ඩාර සිසුවාගේ අකල් මරණයට හේතුව හුදෙක් සියදිවි නසාගැනීමක්ම පමණක්ද? නැතිනම් අන්තර්ජාලයේ සැඟවුණු මාරක සූදුවක ප්‍රතිඵලයක්ද?
පොලිස් විමර්ශනවලදී හෙළිවූ තොරතුරු අනුව, මෙම සිසුවා සිව්මහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලින් බිමට පනින අවස්ථාවේදීත් ඔහුගේ පියාට අයත් ජංගම දුරකථනය අසල තිබී හමුවී තිබෙනවා. වඩාත්ම භයානක කරුණ නම්, එම අවස්ථාවේදීත් දුරකථනය තුළ සියදිවි නසාගැනීමට අණ කෙරෙන අන්තර්ජාල සූදු ක්‍රීඩාවක් (Online Game) ක්‍රියාත්මක වෙමින් පැවතීමයි.
කුරුණෑගල වැඩ බලන මහෙස්ත්‍රාත් ආචාර්ය ෆිලිෂියන් පෙරේරා මහතා විසින් සිදුකළ ස්ථානීය පරීක්ෂාවේදී එක් සුවිශේෂී කරුණක් නිරීක්ෂණය වී තිබෙනවා. සදරු තම පාවහන් යුගළය ඉතාමත් ක්‍රමානුකූලව ගලවා තබා ඇති අතර, එය යම්කිසි සැලසුමකට හෝ අණකිරීමකට අනුව සිදුවූවක්ද යන්න සැකයක් මතු කරයි.
අද කාලේ දරුවන් අතට ෆෝන් එක දෙන්නේ පාඩම් වැඩවලට වුණත්, ඔවුන් අන්තර්ජාලයේ සැරිසරන්නේ කොහේද? කරන්නේ මොනවාද? කියන එක ගැන අවධානයෙන් ඉන්න එක අම්මලා තාත්තලාගේ අනිවාර්ය වගකීමක් වෙලා තියෙනවා. මේ වගේ "මාරක සූදු" දරුවන්ගේ මනස විකෘති කරලා ඔවුන්ව අවසානයේ මරණය දක්වාම අරන් යනවා.
"සදරුගේ මරණය අපිට දෙන ලොකුම පාඩම තමයි, ස්මාර්ට් ෆෝන් එක ඇතුළේ දරුවෝ දකින ලෝකය හැමවෙලේම ආරක්ෂිත නෑ කියන එක."
පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, මෙවැනි අන්තර්ජාල ක්‍රීඩා පිළිබඳව දැනුවත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.