ඒ කියන්නේ, ප්‍රතිලාභීන් පිරිසකට එකම දීමනාව දෙවතාවක් ගෙවිලා!
අප්‍රේල් මාසයේදී අස්වැසුම ලාභීන්ට ලැබුණු අමතර දීමනාව ලබා දීමේදී තාක්ෂණික හෝ පරිපාලනමය අතපසුවීමක් නිසා ඇතැම් අයට මුදල් දෙගුණයක් ලැබී තිබෙනවා. මුලදී මේ ගැන විවිධ කතාබහ ඇති වුණත්, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර මහතා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ වැරදීම සිදුවූ බව තහවුරු කළා.
වැරදීමකින් වැඩිපුර සල්ලි ලැබුණු අයට දැන් ඉතින් ඒ ගැන වැඩිය සතුටු වෙන්න වෙලාවක් නැහැ. මොකද, මණ්ඩලය තීරණය කරලා තියෙන්නේ මේ මාසයේ (මැයි) අස්වැසුම ගෙවීමේදී, එදා වැරදීමකින් වැඩිපුර දුන්නු මුදල ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලින් නැවත අය කරගන්නයි.
ඇත්තටම මේ රහස මුලින්ම රටට හෙළි කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ෆ්‍රී ලෝයර්ස් (Free Lawyers) සංවිධානයයි. රජයේ මුදල් මෙලෙස අපතේ යාම ගැන ඔවුන් කළ අනාවරණයෙන් පස්සේ තමයි බලධාරීන් මේ ගැන පරීක්ෂා කරලා ඇත්ත පිළිගත්තේ.
"වැරදීමකින් හරි සල්ලි ලැබුණා" කියලා සතුටු වුණු අයට මේ මාසයේ ලැබෙන ගාණ අඩු වෙද්දී නම් ඒක ටිකක් තදින් දැනේවි. රජයේ ගනුදෙනුවලදී මෙවැනි වැරදීම් සිදුවීම ගැන දැන් සමාජ මාධ්‍යවලත් දැඩි කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.