අනුරාධපුර පාදෙණිය මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලාව පොලිසිය පවසනවා.
එම මාර්ගයේ, තලාව මොරගොඩ සුනාමි හන්දිය ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළා.
සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කන්කසන්තුරය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ, අනුරාධපුර, නාවිච්චාදූව පාර තුරුවිල පදිංචිව සිටි ඒ.ඩී. රුචිර දිල්ෂාන් නමැති 27 හැවිරිදි කොස්තාපල්වරයෙක්.
ඔහු පොලිස් පුහුණු විද්‍යාලයෙන් පුහුණුව ලබා විසිර යන අවස්ථාවේදී, ආධුනික පොලිස් රියැදුරන් 74 දෙනෙකු අතුරින්, දක්ෂතම රියැදුරා ලෙස සම්මානයට පත්ව තිබුණා.
නිවාඩුවට නිවසට පැමිණ සිටි රුචිර යාළුවකු සමඟ අනුරාධපුර ප්‍රදේශයේ පැවති සැණකෙළියක් නැරඹීමට ගොස් මිතුරා තඹුත්තේගම ඔහුගේ නිවසට ඇරලවා, යළි හිදෝගම දෙසට යතුරුපැදියෙන් යන අවස්ථාවේදී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ කැබ් රථයක් වෙනත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කොස්තාපල්වරයාගේ යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.