විදේශ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් පවතින විවිධ සැකසංකා දුරු කිරීම සඳහා වහාම මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) පවත්වන ලෙස "දිනන දකුණ" දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමුහිකය රජයෙන් ඉල්ලා සිටිනවා.
ඊයේ (06) දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් එම සාමුහිකය පෙන්වා දෙන්නේ මෙම මරණය මේ වන විට රට තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති බවයි.
මෙම මරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමු, පාර්ලිමේන්තු විවාද සහ සමාජ මාධ්‍ය හරහා විවිධ පරස්පර අදහස් සහ සැකයන් මතු වී ඇති අතර අතිශය සංවේදී ඡායාරූපද සංසරණය වෙමින් පවතින බවයි එම සාමුහිකය පවසන්නේ.
ඉතිහාසයේ සිදු වූ විසඳුම් නොලැබුණු වසිම් තාජුඩීන් ඝාතන පරීක්ෂණය මෙන් මෙම මරණයද අතිශය සංකීර්ණ එකක් වනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ.
මියගිය රංග නිශාන්තගේ පවුලට සාධාරණය ඉටුවීම මෙන්ම, ඩොලර් මිලියන 2.5ක භාණ්ඩාගාර ගනුදෙනුවක් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට මෙම මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණය අත්‍යවශ්‍ය බවයි එහිදී මෙම සාමුහිකය පෙන්වා දෙන්නේ.
විද්‍යාව සහ නීතිය සුසංයෝගීව භාවිත කරන විමර්ශන පද්ධතියක් රටට අවශ්‍ය බව පෙන්වා දෙන එම සාමුහිකය, වත්මන් පාලනයෙන් ඉල්ලා සිටින්නේ සත්‍යය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය නිසි පියවර ගන්නා ලෙසයි.