හැබැයි මේ කියන්න යන්නේ ඒ රළු මුහුද පවා පරද්දපු හත් හැවිරිදි පුංචි වීරයෙක් ගැනයි.
ඉන්දියාවේ රාන්චි ප්‍රදේශයේ පදිංචි ඉෂාන්ක් කියන්නේ තාමත් වයස අවුරුදු හතක් විතරක් වුණු පාසල් සිසුවෙක්. රාන්චි හි DAV ශ්‍යාමලී පාසලේ 3 වන වසරේ ඉගෙනුම ලබන මේ පොඩ්ඩා, මුළු ලෝකයේම අවධානය දිනාගත්තේ කිසිවෙකුත් නොසිතූ වික්‍රමයක් කරමින්.
පසුගිය 30 වැනිදා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා කිලෝමීටර් 29කට ආසන්න දුරක් පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා යන්න ඉෂාන්ක් සමත් වුණා. ඒ සඳහා ඔහුට ගතවුණේ පැය 9යි මිනිත්තු 50ක වැනි කෙටි කාලයක් පමණයි.
ඒ අනුව, මෙම මුහුදු මාර්ගය තරණය කළ ලොව ලාබාලතම පිහිනුම් ක්‍රීඩකයා ලෙස ඉෂාන්ක් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
ඉෂාන්ක්ගේ මේ සුවිශේෂී දක්ෂතාව වෙනුවෙන් "විශ්ව වාර්තා සංසදය" (Universal Records Forum) මගින් "පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ ලාබාලතම සහ වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයා" යන ලෝක වාර්තා සහතිකය ඔහුට පිරිනමා තිබෙනවා.
මේ ඉලක්කය සපුරා ගන්න ඉෂාන්ක් දිනකට පැය 4ක් 5ක් ධුර්වා වේල්ලේ (Dhurwa Dam) පුහුණුවීම් කරලා තියෙනවා. අමන් කුමාර් සහ බජ්රං කුමාර් යන පුහුණුකරුවන් යටතේ ඔහු ලබාගත් ඒ දැඩි පුහුණුව තමයි මේ ජයග්‍රහණයට පාර කැපුවේ.
මේ ගැන අදහස් දක්වපු පාසලේ විදුහල්පතිවරයා පවසන්නේ, රළු මුහුදේ මෙතරම් දුරක් පිහිනා යෑමට ඉෂාන්ක් දැක්වූ ධෛර්යය සෙසු සිසුන්ටත් ලොකු ආදර්ශයක් බවයි.