අකුරැස්ස, කඹුරුපිටිය මාර්ගයේ නිල්වලා අධ්‍යාපන විද්‍යා පීඨය ආසන්නයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මතට අහඹු ලෙස ඔලිගන් රක්ෂිතයේ තිබූ අඩි 80ක් පමණ උස මිල්ල ගසක අත්තක් කඩා වැටීමෙන් සිදුවුණේ කිසිවෙකුත් නොසිතන සිදුවීමක්.
ඔහු වෘත්තියෙන් හෙද නිලධාරියෙක්. කෙසේ වෙතත් අහඹු ලෙස කඩා වැටුණු මේ මිල්ල අත්ත හේතුවෙන් එම ත්‍රිරෝද රථයේ රියැදුරු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව පසුගිය දවසක මියගියා. අකුරැස්ස පොලීසිය විසින් මාධ්‍ය වෙත මේ බව පැවසුවා.
මෙසේ මියගොස් ඇත්තේ කඹුරුපිටිය, ආඳපාන මූලික රෝහලේ සේවය කළ හෙද නිලධාරියකු වූ 50 හැවිරිදි තිදරු පියකුවන කොඩිප්පිලගේ ධර්මසේන නමැත්තෙක්.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ රියැදුරු ලෙස කටයුතු කළ හෙද නිලධාරියා අලුත් අවුරුදු චාරිත්‍ර සිය පවුලේ හිතවතුන් සමඟ එක්ව සමරා යළි සුපුරුදු රාජකාරී මුරය ඇරඹීමට ගමන් කරමින් සිටින අතරතුර මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර, අනතුරින් පසු තුවාලකරු 1990 ගිලන් රථ සේවයෙන් ආඳපාන මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.
මරණකරු අත්වාරුවක ආධාරයෙන් සිය දෛනික කටයුතු සිදු කරන අතර සමාජ සේවා කටයුතු සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයකු බවද ගම්වාසීහු පවසනවා.