මේ කියන්න යන්නේ සමාජ මාධ්‍යයේ මේ දවස්වල හැමෝගෙම දෑසට කඳුළක් එක් කරපු, ඒ වගේම ජීවිතය දිනන්න වෙහෙසෙන ඕනෑම කෙනෙකුට ලොකු හයියක් දෙන අපූරු කතාවක්.
මේ කතාවේ වීරයාට වයස අවුරුදු 5 දී ඔහුගේ තාත්තා නැති වෙනවා. ඒ මරණයත් එක්කම නෑදෑයෝ අමුතු වෙන්න පටන් ගන්නවා. තාත්තා නැති වෙලා මාස කිහිපයකින් මහ වැස්සක් තිබුණු දවසක බාප්පා විසින් මේ පුංචි පුතාවයි, අම්මවයි ගෙදරින් එළවලා දමන්නේ අම්මගේ මූණට කෙළ ගසමින්. එදා ඒ අසරණ අම්මා වැස්සේම තෙමි තෙමී තමන්ගේ සහෝදරියගේ (ලොකු අම්මාගේ) පුංචි කාමරේකට එන්නේ ජීවිතේ බිංදුවටම වැටිලා ඉද්දී.
අම්මා කුලී වැඩ කරද්දී, ඉඩම් කච්චේරියේ කාර්යාල සහායකයෙක් වුණු ලොකු අප්පච්චි මේ දරුවව තමන්ගේම පුතෙක් වගේ බලාගන්නවා. තමන්ගේ දුවට වඩා මේ පුතාට උගන්වන්න ඔහු රෑ නිදිවරාගෙන අනුන්ගේ ගෙවල්වල තීන්ත ගාන්න යනවා. ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ ලොකුම ඉස්කෝලේකට යද්දී නෑදෑයෝ හිනා වුණේ "තොපිට පුළුවන්ද ලොකු මිනිස්සු කරන ඒවා කරන්න" කියලා අහලයි.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන්න දවස් කිහිපයකට කලින් වත්තේ වැඩ කරමින් හිටපු අම්මා පොළඟෙක් ගහලා මිය යනවා. තමන් වෙනුවෙන් දුක් වින්ද අම්මව බලාගන්න බැරි වුණු වේදනාව මැද ලොකු අම්මයි ලොකු අප්පච්චියි මේ දරුවට අම්මයි තාත්තයි දෙන්නම වෙනවා.
සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වුණු දවසේ ලොකු අප්පච්චි මේ පුතාට තෑග්ගක් ගෙනත් දෙනවා. ඒ තමයි "වෙද නළාවක්". "පුතේ උඹ දොස්තර කෙනෙක් වෙන්න ඕනේ" කියන ඒ ලොකු අප්පච්චිගේ බලාපොරොත්තුව මේ දරුවා සැබෑ කරනවා. උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන වෛද්‍යවරයෙක් වෙන්න සුදුසුකම් ලබන ඔහු, එදා ලොකු අප්පච්චි දුන්නු ඒ වෙද නළාව ලොකු අප්පච්චිගේම පපුවට තියලා මෙහෙම කියනවා...
"ඔයාට තරම් හොඳ පපුවක් කිසිම දොස්තර කෙනෙකුට හම්බ වෙන්නේ නැති වෙයි.."
වැස්සේ තෙමි තෙමී ගෙදරින් එළවපු දවසේ ඉඳන්, රජයේ දොස්තර කෙනෙක් වෙනකම් ආපු මේ ගමන ඇත්තටම ආශ්චර්යයක්. තමන්ගේම කියලා ලේ නෑකමක් නැති වුණත්, ලොකු අම්මයි ලොකු අප්පච්චියි කරපු ඒ කැපකිරීම ලෝකයටම ලොකු පාඩමක්.
මුහුණු පොතේ සටහනක් ඇසුරෙන්