නුවරඑළියට යන කවුරුත් ආදරය කරන, සිනහවෙන් සහ සතුටෙන් පිරී පවතින ග්‍රෙගරි වැව පරිශ්‍රය අද උදෑසන ගොළු වුණේ කාගේත් හදවත් හෝස් ගාලා යන අතිශය සංවේදී දර්ශනයකින්.
දස මාසයක් කුසේ දරාගෙන, ලේ කිරි කර පොවා හදන්නට සිටි අම්මා කෙනෙකුගේ සෙනෙහස වෙනුවට, අලුත උපන් කිරි කැටි බිළිඳියකට උරුම වුණේ සීතල වැව් දියයි.
බෝට්ටු පදින අයට පෙනුණු ඒ බිහිසුණු දසුන අද උදෑසන ග්‍රෙගරි වැවේ රාජකාරියේ නිරතව සිටි බෝට්ටු කාර්ය මණ්ඩලය සහ ජීවිත ආරක්ෂක නිලධාරීන් හට වැව් දිය මත අමුතු යමක් පාවෙමින් තිබෙනු නිරීක්ෂණය වුණා.
ඒ පිළිබඳව සමීපව පරීක්ෂා කර බලද්දී ඔවුන් දුටු දර්ශනයෙන් ඔවුන් සලිත වී ගියා.
ඒ, නූල් පොටක්වත් නැතිව සීතල වැව් දිය මත පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳියකගේ නිසල සිරුරයි.
මනුෂ්‍යත්වය වැළලුණු මොහොතක් වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් නුවරඑළිය පොලිසිය දැනුවත් කළ අතර, පොලිස් නිලධාරීන් සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එම ස්ථානයට පැමිණියා.
ඔවුන් එක්ව ඒ පුංචි සිරුර වැවෙන් ගොඩගද්දී එහි රැස්ව සිටි පිරිස්වල දෑස් කඳුළින් තෙත් වුණේ නිරායාසයෙන්මයි. "සරසන්නට තිබුණු පුංචි තොටිල්ල වෙනුවට, සීතල වතුර රෙදි කඩක් කරගත්තු ඒ පුංචි දෝණි ලෝකය දකින්නත් කලින්ම නික්ම ගිහින්..."
මෙම බිළිඳිය උපත ලබා ඉතා කෙටි වේලාවකින් වැවට දමන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
සීතලෙන් පීඩා විඳින නුවරඑළිය වැනි ප්‍රදේශයක, මෙවැනි අමානුෂික ලෙස තම ලේ කිරි කළ දරුවා වැවට බිලි කළේ කවුරුන්ද යන්න සොයා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ප්‍රදේශයේ රෝහල් සහ පවුල් සෞඛ්‍ය සේවා වාර්තා පරීක්ෂා කරමින් මේ අකාරුණික මව කවුදැයි සෙවීමේ මෙහෙයුම් දැන් ක්‍රියාත්මකයි.
දරු සම්පත් නැතිව දහස් ගණනක් දෙවියන් යදිද්දී, තමන්ට ලැබුණු දියණියව වැව් දියට බිලි දුන් ඒ මවට නීතියෙන් ලැබෙන දඬුවමට වඩා ස්වභාවධර්මයෙන් ලැබෙන දඬුවම විශාල වනු නොඅනුමානයි.