කඩෙන් කැවුම් ගන්න එපා
පොල් කිරෙන් ආශිර්වාද කරන්න හොඳ නැහැ
ලෝකේ ගොලීයකරණය වෙලා, ගෙදර බුෆේකරණය වෙලා. කොළඹ වුනත් ගමක වුනත් මගුල් ගෙදර, මළ ගෙදර, දානේ ගෙදර දැන් තියෙන්නේ බුෆේ. "මැෂින් එකෙන් කෝපි බීලා, බුෆේ එකෙන් ඇතිවෙන්න බෙදාගෙන කන්න" කියලයි මනමාලිගේ තාත්තා හිනාවෙවී කියන්නේ. හොටු පෙරමින් අඩන ගමන් මළගෙදර සාමාජිකයෙක් කියන්නෙත් එහෙමයි. හාමුදුරුවෝ දානේ වලඳපු ගමන් වතුර අල්ලන්නෙත් එහෙම කියලයි. මෙහෙම ගියොත් හෙට අනිද්දා වෙද්දී පොඩි එකා වෙනුවෙන් දෙන කිරි අම්මාවරුන්ගේ දානයත් බුෆේකරණය වුනොත් පුදුම වෙන්න දෙයක් නැහැ. හැබැයි කිරි අම්මාවරුන්ගේ දානයත් එක්ක එහෙම සෙල්ලම් කරොත් නං ලේසි වෙන එකක් නෑ.
කසාද බඳින්න යද්දී, දරුවෙක් ඉපදෙන්න ඉද්දි, දරුවා ඉපදුනාට පස්සේ, දරුවාගේ උපන් දිනයට ආශිර්වාද කරන්න පත්තිනි මෑණියන් වෙනුවෙන් දෙන හින්දා කිරි අම්මාවරුන්ගේ දානය සැහැල්ලුවට ගන්න එපා, හරි සරලයි සුගමයි කියල හිතන්නත් එපා.