අපේ හදවතට දැනෙන්න ගීත කියපු කලාකරුවෝ කීපදෙනෙක් පහුගිය දවස්වල ලෙඩ වෙලා හිටියා ඔබට මතක ඇති. ඒ අතර නාමල් උඩුගමත් හිටියා. නමුන් අපි හැමෝගෙම වාසනාවකට ඔහුට මේ වෙද්දි සුවවෙලයි තියෙන්නේ. නාමල්ගේ රෝගි තත්වය ගැන ආරංචි වුණු වෙලාවේ ඔහුගේ රසික රසිකාවියන් ගොඩ දෙනෙක් ඔහුට උදව් කරන්න ඉදිරිපත් වුණා.
ඒ හැමෝගෙම උදව් නිසා සුව වුණු නාමල් මේ වෙනකොට අලුත් වැඩ ටිකක් කරන්නත් පටන් අරන්. ඔය අතරේ තමන්ගේ රෝගි තත්වයට බෙහෙත් ගන්න ලොකු වියදමක් ගිය නිසා නාමල් එයා අමාරුවෙන් හම්බකරගත්ත දේවල් හුඟක් විකුණලා තියෙනවා. අපි හැමෝටම කරදර එනකොට ඒ ලෙඩදුක් හොඳ කරගන්න අපි නොකරණ දෙයක් නෑ. නාමල්ටත් ඒක පොදුයි.
මේ ගැන නාමල් කියලා තියෙන කතාවෙදි තමන්ගේ ලෙඩේදි ළඟින්ම හිටිය බිරිඳව අමතක කරලා නෑ. අවුරුදු 4ක විතර ඉඳන් අඩුවැඩි වෙවී තිබුණු තමන්ගේ ලෙඩේ ගැන හොඳ කරගන්න කරන ඔපරේෂන් එකට නාමල් තමන්ගේ වාහනය තමයි ඉස්සරවෙලාම විකුණලා තියෙන්නේ. එකෙන් ලැබුණු සල්ලි වලින් බෙහෙත් කරලත් නාමල්ට හොඳටම හොඳ කරගන්න අමාරු වෙලා.
ඉතින් ඊට පස්සේ කරලා තියෙන්නේ තමන් හදපු ගෙදරත් විකුණපු එක. ඒ සල්ලිවලින් බෙහෙත් කරගන්න ගත්ත ණයත් ගෙව්වා කියලා තමයි නාමල් කියන්නේ. ගෙදර කවුරුත් කැමැත්තෙන් මේ දේවල් විකුණන තීරණය නොගත්තත් වෙන කරන්න දෙයක් නොතිබුණු නිසා මේ තරම් කාලයක් තමන්ගේ දාඩිය මහන්සිය, බලාපොරොත්තු හැමදේම එකතු වුණු ඒ ගෙදරත් විකුණලා දාන්න හැමෝම එකතුවෙලා තීරණය කරලා.
ඒ විදියට තමන්ගේ හීන, බලාපොරොත්තු අමතක කරලා ජීවිතේ හුස්ම පොද රැකගන්න හිතපු නාමල් පවුලේ අයත් එක්ක මේ වෙනකොට ජීවත් වෙන්නේ රාජගිරියේ කුලියට ගත්ත නිවසක. හැබැයි නාමල් බලාපොරොත්තු අතෑරලා නෑ, ඔහු පුලුවන් ඉක්මණින්ම තමන්ගෙම ගෙදරකට යනවා කියලා තමයි කියන්නේ.