අද (28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැකකාර තරුණයා ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ශරෝමාලි මහත්මිය ඇතුළු නිලධාරීන් පවසා සිටියේ, මෙම තරුණයා වසර දෙකක් තිස්සේ සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප විකුණමින් ජාවාරම්කාර ලෙස මුදල් උපයා ඇති බවයි.
තවද, මොහු පවත්වාගෙන ගිය මෙම සමාජ මාධ්‍ය ගිණුම තුළ මේ වන විටත් 8,000කට අධික පිරිසක් සාමාජිකයන් ලෙස සිටින බවයි ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුරටත් අධිකරණයට අනාවරණය කළේ.
සමාජ මාධ්‍ය භාවිතයේදී මෙවැනි අකටයුතුකම්වලට හසු නොවී තම පෞද්ගලික ඡායාරූප සහ තොරතුරු ආරක්ෂා කරගන්නා ලෙසයි බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.