කථන ආබාධිත (ගොළු) මවුපිය දෙපළකට දාව උපන් එකොළොස් හැවිරිදි එකම දියණිය රවටා සාදවලට රැගෙන ගොස් මත්ද්‍රව්‍ය ලබාදී ඇයව වරින් වර දූෂණයට ලක් කළ බව කියන ටික්ටොක් කිරි සමන් ඇතුළු තරුණයන් සිවු දෙනකු සහ තරුණියන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා.
එකොළොස් හැවිරිදි දැරිය මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
ඉකුත් ජනවාරි 1 වැනිදා දෙහිවල ප්‍රදේශයේ සාදයකට සහභාගි වීම සඳහා නිවෙසින් පිටවී ගිය දැරිය පසුදින නිවෙසට නොපැමිණි බවට දැරියගේ මවුපියන් පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය සඳහන් කළේය.
එදින පැය කිහිපයකට පසු දැරිය නිවෙසට පැමිණීමෙන් අනතුරුව පොලිසියට ඇතිවූ සැකයක් මත ඇය පොලිසිය වෙත ගෙන්වාගෙන මුල්ලේරියාව රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව සිදුකළ පරීක්‍ෂාවෙන් පසුව අන්තරාදායක ඔෟෂධ මත්ද්‍රව්‍ය ශරීරගත වී ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා විසින් තහවුරු කර ඇත.
අනතුරුව දැරිය රෝහල්ගත කර අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
2021 අගභාගයේදී දැරිය වට්ස්ඇප් මාර්ගයෙන් තරුණියක් හදුනාගෙන තිබූ අතර ඇය මාර්ගයෙන් මට්ටක්කුලිය ප්‍රදේශයේ තරුණයකුද අනතුරුව රාජගිරිය ප්‍රදේශයේ ටික්ටොක් කිරි සමන් නමැත්තාද හදුනාගෙන තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
“ටික්ටොක් කිරි සමන්” නැමැත්තා දැරියට සාදයකට පැමිණෙන ලෙස කරන ලද ආරාධනාවක් අනුව දැරිය මවුපියන්ට සහ එකම සහෝදරයට හොර රහසේ දෙසැම්බර් මාසයේ දිනක රාත්‍රි 12ට පමණ නිවෙසින් පිටවී සාදයට සහභාගී නැවත අලුයම හතරට පමණ නිවෙසට පැමිණ තිබූ බව ලබාගත් ප්‍රකාශයකින් අනාවරණ වූ බව පොලිස් නිලධාරිනියක් පැවැසුවාය.
එහිදී “ටික් ටොක් කිරි සමන්” දැරිය දූෂණයට ලක් කර තිබූ අතර ඔහු සමඟ සිටි තවත් පුද්ගලයකු ඇය හා ලිංගිකව එක්වී තිබූ බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණ වූ බව පොලිස් නිලධාරිනිය කීවාය.
අනතුරුව දෙසැම්බර් මස 20, 21, හා 22 යන දින තුනෙන් එක් දිනක පෑලියගොඩ ප්‍රදේශයේ සාදයකට යන බව මවුපියන්ට පවසා දැරිය නිවෙසින් පිටවී ගොස් තිබූ අතර පසුදින අලුයම 6.30ට පමණ නැවත නිවෙසට පැමිණ ඇති බව පොලිසිය පැවැසීය.
එහිදීද ටික්ටොක් කිරි සමන් සහ තවත් පුද්ගලයකු දැරිය සමඟ ලිංගිකව එක්වී ඇතැයි පොලිසිය කියයි.
එම සාදයේදී කැලණිය ප්‍රදේශයේ තරුණයකුද දැරිය හ¾දුනාගෙන තිබූ අතර ඔහුගේ ආරාධනාව මත ජනවාරි පළමු වැනි දින දෙහිවල ප්‍රදේශයේ සාදයකට දැරිය සහභාගී වී තිබූ බවත් නිවෙසට පැමිණීමට රෑ බෝ වූ හෙයින් එම පුද්ගලයා විසින් කැලණිය ප්‍රදේශයේ සිය මිතුරකුගේ නිවෙසට දැරිය රැගෙන ගොස් දැරිය සමඟ එදිනද ලිංගිකව හැසිරී ඇතැයි ඇගේ ප්‍රකාශයකින් අනාවරණ වූ බව පොලිසිය පැවැසීය.
පසුදින දහවල් වනතෙක් තම දියණිය නිවෙසට නොපැමිණීම සම්බන්ධයෙන් කතා කිරීමට නොහැකි මවුපිය යුවළ තලංගම පොලිසියට පැමිණ පැමිණිල්ලක් සිදුකර ඊට පැය කිහිපයකින් අනතුරුව නැවත පොලිසියට දියණිය පැමිණි බවට පැවැසූ බව පොලිසිය සඳහන් කළේය.
පොලිසියට ඇතිවූ සැකයක් මත දැරිය පොලිසිය වෙත ගෙන්වාගෙන මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිදුවූ අපරාධයේ සියලු තතු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.
මැටි ගසන ලද කුඩා කාමරයකට තමන්ව රැගෙන ගිය බව දැරිය පැවැසුවද ඒ සම්බන්ධයෙන් නිශ්චිත ස්ථානයක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
දැරිය සාදවලට රැගෙන ගිය සෑම අවස්ථාවකදීම දැරියට විවිධ මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවට විමර්ශනවලදී අනාවරණ වූ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් වයස අවුරුදු 19 සහ 22 අතර පසුවන රාජගිරිය, මට්ටක්කුලිය, කැලණිය ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
දැරිය ලිංගික අපයෝජනය කළ තවත් පුද්ගලයන් කිහිපදෙනකු ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එම්. අයි. සුභාෂිණී මහත්මියගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ සහ කාන්තා කාර්යාංශයේ සෙසු නිලධාරීහු පරීක්ෂණ පවත්වයි.