විවාහ කරගන්නා බවට බොරු පොරොන්දු දී, කාන්තාවන් රවටා, විවිධ කූට උපක්‍රම හරහා ඔවුන්ව දැඩි අපහසුතාවයට පත් කරන වංචනිකයන් පිරිසක් සමාජය පුරා සැරිසරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.
පොලිසිය පවසන අන්දමට, මේ දිනවල බහුලවම වාර්තා වන්නේ වංචනික ලෙස කාන්තාවන් හමුවීමට පැමිණ, ඔවුන්ට විවිධ ආහාර හෝ බීම වර්ග ලබා දී මත් කිරීම හෝ සිහිසුන් කිරීමයි. ඉන්පසුව ඔවුන්ව දරුණු ලෙස ලිංගික අතවරවලට ලක් කර, සන්තකයේ ඇති මුදල් සහ දේපළ කොල්ලකා පලායෑමේ ප්‍රවණතාවක් දැකගත හැකියි.
තත්ත්වය මීට වඩා බරපතළ වී ඇත්තේ, වංචනික පෙම්වතුන් ලෙස රඟපාමින් කාන්තාවන්ගේ උපරිම විශ්වාසය දිනාගෙන, පසුව ඔවුන්ගේ සේසතම සූරාගෙන අවසානයේදී අදාළ කාන්තාවන්ව ඝාතනය කිරීමට පවා මේ නරුමයන් පෙළඹී තිබීමයි.
මෙම භයානක තත්ත්වය වැළැක්වීම සඳහා මේ වන විටත් ක්‍රියාත්මක වී ඇති පොලිස්පතිවරයා, ලංකාවේ සියලුම පොලිස් ස්ථාන, මහජන ආරක්ෂක කමිටු, බුද්ධි අංශ සහ සිවිල් නිලධාරීන් එකතු කර ගනිමින් අවධානමට ලක්විය හැකි අයවළුන් පිළිබඳ තොරතුරු රැස් කිරීමේ විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොලිසිය විසින් කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම උපදෙස් මාලාව පිළිපදින ලෙස දැඩිව ඉල්ලා සිටිනවා... සමාජ මාධ්‍ය හරහා හඳුනා ගන්නා නාඳුනන පුද්ගලයන් කොතරම් විශ්වාසවන්ත ලෙස රඟපෑවත්, ඔවුන්ට මුදල්, ස්වර්ණාභරණ හෝ වටිනා දේපළ ලබාදීමෙන් වැළකී සිටින්න.
ඔබගේ පෞද්ගලික, සංවේදී හෝ ආදරණීය ඡායාරූප සහ වීඩියෝ දර්ශන කිසිම විටෙක මෙවැනි සැක සහිත පුද්ගලයන් වෙත යැවීමෙන් වළකින්න. ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, බැංකු ගිණුම් අංක මෙන්ම පෞද්ගලික ලිපිනයන් නාඳුනන අයට ලබාදීමෙන් වළකින්න.
සැක සහිත දුරකථන ඇමතුම් හෝ පණිවිඩ හරහා යම් ගනුදෙනුවකට හෝ හුදෙකලා ස්ථානවල හමුවීම්වලට කරනු ලබන ආරාධනා සෘජුවම ප්‍රතික්ෂේප කරන්න.
ඔබ හෝ ඔබ දන්නා හඳුනන වෙනත් අයෙකු මෙවැනි වංචාවකට, තර්ජනයකට හෝ බලපෑමකට ලක්ව ඇති බවක් දැනේ නම්, බිය නොවී වහාම ක්‍රියාත්මක වන්න. ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ළමා හා කාන්තා කාර්යාංශය වෙත ගොස් පැමිණිලි කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.
එමෙන්ම, පහත දැක්වෙන හදිසි ඇමතුම් අංක ඔස්සේ ද ඔබට කඩිනමින් පොලිසිය දැනුවත් කළ හැකියි...118, 119, 107, 109
මෙවැනි වංචනිකයන්ගේ කූට උගුල්වලට හසු නොවී, තමන්ගේ ආරක්ෂාව සහ ගෞරවය සුරක්ෂිත කර ගැනීමට නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සමස්ත මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.