අප සියලූ දෙනාගේම පාහේ ශරීරයේ මොන යම්ම හෝ තැනක උපන් ලපයක් පිහිටා ඇත. උපන්දා සිට මියයන තෙක්ම මෙම උපන් ලපය නොමැකේ. කවාකාර හැඩගත් තිතක් හෝ බිංදුවක් වැනි කළු පැහැ ලකුණක් ශරීරයේ කොතැනක හෝ ඇත්නම් එය උපන් ලපය යන්නෙන් ව්‍යවහාරය. ‘මාෂකය’ යන්නෙන්ද උපන් ලපය හඳුන්වා ඇත. ගත ලකුණු විමසීමේදී උපන් ලප වලට හිමිවූයේ විශේෂ තැනකි. ඒ ශරීරාංගයන් මත පිහිටන උපන් ලප අනුව කියැවෙන පලාපල විස්තර මෙම ලිපියෙන් විස්තර කර බලමු.
යම් ස්ත්‍රියකගේ ඇහිබැම මත උපන් ලපයක් පිහිටා ඇත්නම් ඇය ධන ධ්‍යානාදී සැප සම්පත් ලබා සුව පහසු දිවියක් ගෙවන්නීය. එය කාමාධික බව හඟවන ලකුණක්ද වෙයි. දකුණු ඇහිබැම මත නම් මෙය වඩාත් තහවුරුය. හොඳ ආර්ථික ශක්තියකට උරුමකම් කියන අතර ශරීර සනීපයද යහපත් අයුරින් තිබේ. ඇය ලබන ස්වාමිපුරුෂයාද දරුවන්ද පින්බරය. වම් ඇහිබැම මත උපන් ලපයක් පිහිටීම අනර්ථකාරීය. අශුභ සිතිවිලි ඇති ඇය කාමුක බව හේතුවෙන් චරිතයට කැලැල් ඇතිකර ගනී. ඇහිබැම 2 ක අතර නම් අශුභයක් නොමැත. හොඳ පවුල් පරිසරයක් ඇති වාසනාවන්ත ස්ත්‍රියක් බව කිව හැක. නිතර සිතේ සතුටින් සිටී. ශරීර සනීපයට එතරම් බාධාවක් නොවී දීර්ඝ ආයුෂ ලබන තත්ත්වයකි.
යම් පුරුෂයකුගේ ඇහිබැම මත උපන් ලපයක් පිහිටා ඇත්නම් ඔහු සැරපරුෂය. අශුභ ගතිගුණ හා සිතිවිලි සහිත කෙනෙකි. අවවාද උපදෙස් පිළිපදින්නේ කලාතුරකිනි හෙවත් ලෙහෙසියෙන් තවකෙකුට නොනැමෙයි. එහෙත් දකුණු ඇහිබැම මත පිහිටි උපන් ලපය එතරම් අශුභ නැත. භෞතික සම්පත් ලැබීමේ වාසනාව පවතී. වාසනාවන්ත අඹුදැවන්ට, උරුමය. ඉහත කී අශුභ තත්ත්වය ඉස්මතු වනුයේ වම් ඇස ආශ්‍රිතව උපන් ලපය පිහිටතොත්ය. එවිට මැදි වයසින් පසු ජීවිතය අභාග්‍ය සම්පන්න වේ. ශරීර සනීපයට බාධා, බලාපොරොත්තු වැඩකටයුතු බිඳවැටීම් ආදිය සිදුවේ. වෙසෙසින්ම විවාහයට අනර්ථකාරී වේ.
යම් ස්ත්‍රියකගේ පුරුෂයකුගේ කනෙහි උපන් ලප පිහිටීම ශුභඵල ප්‍රධානයෙහි අසාමාර්ථය. උපන් ලපය වම් කනෙහි නම් දුක් කරදර සහිත දිවියකි. වෙසෙසින් හදිසි අනතුරු වලින් ප්‍රවේශම් විය යුතුය. නොසිතූ පරිදි රණ්ඩු දබර වලට පැටලෙයි... දකුණු කනේ පිහිටීමෙන් ධන ධන්‍යාදී වස්තු හානියට හේතු වේ. නොසිතූ කරදර පැනනගී. ඥාතීන් හා අසල්වාසීන් සමඟ හොඳ හිත නොමැති වේ. උපන් භූමිය අත්හරින ගති ලකුණකි.
ඕනෑම කෙනෙකුගේ තොලෙහි වම් පැත්තේ උපන් ලපයක් පිහිටීම අශුභය. යටිතොල වම් පැත්තේ නම් ඔහු හෝ ඇය වංචාසහගතය. බොරු නැතිබැරිකම් මවාපායි. උඩුතොල වම් පැත්තේනම් නිරතුරු දුක් දොම්නස් වලට මුහුණ පෑමට සිදුවෙයි. යටිතොල දකුණු පැත්තේ පිහිටි උපන් ලපය ඇති අයගේ යුගදිවිය වාසනාවන්ත වේ. ලැබෙන සහකාරි හෝ සහකාර දුරබැහැර කෙනෙකි. මෙවැනි අයට රසකාමී හැඟීම් බහුලව පවතී. උඩු තොලෙහි නම් හොඳ ආර්ථික තත්ත්වයක් ගොඩනැෙඟ්.
දිවෙහි ලප පිහිටීම අශුභයක් යැයි බොහෝ අයගේ විශ්වාසයයි. මෙවැනි අයට අපහසු රැකී රක්‍ෂා ලැබෙන අතර එදිනෙදා ජීවත්වීමට පමණක් සුළු ආදායමක් උපයා ගනී. අධික කාමුකත්වය පෙන්නුම් කරයි. එසේ චරිතයට කැලැල් ඇතිවීමට ද පුලූවන. එහෙත් දිවෙහි යටි පැත්තේ ඇති ලප සුභඵල ඉස්මතු කරයි. එවැනි අය සමාජයට වැඩදායකය. බොහෝ ප්‍රසිද්ධියට, ජනප්‍රියත්වයට පත්වෙයි. නාසයෙහි වම්පස උපන් ලපයක් ඇත්නම් ඔහු හෝ ඇය කාර්ය ශූරය. උසස් රැකියා තනතුරු ආදිය ලැබීමට භාග්‍ය තිබෙයි. කෙසේ හෝ තම අභිලාෂයෙන් මුදුන්පත් කරගනී. විවාහ දිවියද සාර්ථක වෙයි. දකුණු පැත්තේ පිහිටි උපන් ලපය දුක් කරදර ඇති කරයි. කළු පැහැ තරමට අශුභ තත්ත්ව අධිකවද පැණි පැහැ වැඩිවූ තරමට අශුභ තත්ත්ව අඩුවෙන්ද බලපවතී.
නිකටෙහි උපන් ලප ඇති අය අධික කාමයෙන් යුතුය. ලෙහෙසියෙන් තෘප්තියට පත් නොවේ. වෙසෙසින්ම මානසික දුබලකම් ඉස්මතු කරයි. නිකටෙහි දකුණු පසට වඩා වම් පස උපන් ලපය පිහිටා තිබීම පුරුෂ පාර්ශවයට අශුභය. ස්ත්‍රියකගේ නිකටේ උපන් ලපයක් ඇත්නම් සුවපහසු දිවියකට වාසනාව හොඳින් තිබේ. වම්පස නම් එම තත්ත්වය වඩාත් තහවුරුය. අන්‍යයන් වසඟ වන පෙනුමකි. කම්මුල් මත පිහිටන උපන් ලප ගැන විමසීමේදී ස්ත්‍රියකගේ වම් පසද පුරුෂයින්ගේ දකුණු පස කම්මුලේද උපන් ලපයක් පිහිටීම ශුභයි. මෙවැනි අය උපන් තත්ත්වයට වඩා බොහෝ උසස් වේ. නමුත් වම් පස උපන් ලපය විවාහයට අහිතකර වේ. උපන් ලප වැඩිවන තරමට කරදරද අධික වේ. පුරුෂයන්ට ජලයෙන් අනතුරු ගෙන දේ. දුරබැහැර ගමන් ප්‍රවේශමෙනි.
දකුණු කම්මුල මත උපන් ලප 2 ක් ඇත්නම් එය බහුවිවාහ ගති ලකුණකි. කම්මුල් දෙපසම උපන් ලප ඇත්නම් විවාහය පිළිබඳ ඇතිවූ බලාපොරොත්තු කිහිපයක්ම සුන්වේ. කෙසේ වෙතත් විවාහය සාර්ථකය. නලල මත පිහිටන උපන් ලපය විවාහයට අශුභය.
හිසෙහි පිහිටන උපන් ලප කාට වුවද ශුභඵල උදාකරයි. කාන්තාවක නම් ප්‍රසිද්ධියට මෙන්ම ජනතාවගේ ප්‍රියතාවයටද පාත්‍ර වෙයි. සුළු තැනින් අරඹා ඉහලටම පැමිණේ. පුරුෂයන්ගේ හිසෙහි දකුණු පස උපන් ලපය වඩාත් ශුභඵල ගෙනදෙයි. එවැනි අය අය බුද්ධිය මුල්කොට ගත් රැකියාවක නිරත වෙයි.
බෙල්ලේ උපන් ලප පිහිටීම ද ශුභයි. වෙසෙසින් විවාහය සාර්ථකය. ඉන්පසු දියුණු වේ. බෙල්ලේ මැද උපන් ලපය ඇත්නම් අවුරුදු 30 දී විවාහය සිදුවන බවද උපන් ලපය වමට බරවන තරමට ඊට අඩු වයස් සීමා වලද, දකුණට බරවන තරමට ඊට වැඩි වයස් සීමාවලද විවාහය සිදුවන බවද ගත ලකුණු ශාස්ත්‍රයෙහි දැක්වෙයි. යම් ස්ත්‍රියකගේ දකුණු උරහිස මත උපන් ලපයක් ඇත්නම් ඇයට විදෙස් ගමන් ඇතිවේ හෙවත් එම භාග්‍ය පවතී. ගෘහ දිවියද සාර්ථක කරගනී. මෙය රත්පැහැව පපු පෙදෙසට බරව ඇත්නම් රසකාමී හැඟීම් බහුලය. අනුන් කියන දේ නොඅසයි. පිරිමින්ගේ දකුණු උරහිසේ උපන් ලප පිහිටීම බොහෝ වාසනාවන්තයි. උපන් භූමියෙන් පිටතදී දියුණුව ලබයි. විවාහය පැත්තෙන්ද අශුභ නැත. එහෙත් වම් උරහිස මත උපන් ලපයක් ඇති පිරිමින් කම්මැලිය. රණ්ඩු දබර වලට පැටලෙයි. නීති ප්‍රශ්න ගෙනදෙයි.
බාහු මත උපන් ලප පිහිටීම සතුරු කරදර මර්දනය කරයි. සුවබර දිවියකට උරුමකම් පවතී. එවැනි අය උපන් ගම මඟ හරී. උපන් ලපය වැලමිටෙන් පහල නම් විවාහ සාර්ථකය. ඉන්පසු ධනවත් වේ. කලාකාමී සිතැති මෙවැනි අය නිතර සතුටින් සිටී. නමුත් වැලමිටේ උපන් ලපය ඇත්නම් විවාහය සාර්ථක නොවේ. දූ දරුවන් පවා නොසලකා හරියි. සෙලවෙන අදහස්ය. කාර්යබහුලය.
අල්ලේ පිහිටන උපන් ලප දෙපාර්ශවයටම අයහපත්ය. මාපට ඇඟිල්ල යට නම් විවාහය අසාර්ථ වෙයි. අනුන් යටතට පත්වේ. චිත්ත සන්තාප බහුලයි. බොහෝවිට චරිත කැලැල් ඇතිකර ගනී. දබරගිල්ල යටනම් එයද විවාහයට අනර්ථකාරීය. රැකියා තනතුරු ඉවත් වේ. මැදගිල්ල යටනම් සතුරු කරදර පැන නගී. උරුම හිමිකම් අන්සතු වීමට හේතුය. වෙදැගිල්ල යට උපන් ලපය අක්‍ෂි බාධා වලට නැඹුරුය. සුළැඟිල්ල යටනම් අධ්‍යාපන කටයුතු අසාර්ථක කරගනී.
පිටේ උපන් ලපයක් පිහිටා ඇත්නම් සැපවත් දිවියකට උරුමකම් පවතී. එය පිට මැදට වී නම් තවත් යහපත්ය. කෙසේ හෝ තම අභිලාෂයන් මුදුන්පත් කරගනී හෙවත් ඉතා උත්සාහවන්තය. හොඳින් දුරදිග සිතා බලා හැම වැඩක්ම පාහේ ඉටුකරයි. එහෙත් පිටේ ඉහල කොටසේ පිහිටි උපන් ලපය සුභඵල අඩුකරයි. කපටි, මුරණ්ඩු ගතිගුණ වෙයි. පපුවෙහි උපන් ලප ඇති අය ඉක්මනින් කේන්තියට පත්වේ. ස්ත්‍රියකගේ පපුවේ දකුණු පස පිහිටි උපන් ලපය ඇගේ යුග දිවිය සාර්ථක වන බවට කෙරෙන ඉඟියකි. පපුව මැද නම් විවාහය අසාර්ථකය. දරුඵල හීනය.
පියවුරු වල පිහිටි උපන් ලප ස්ත්‍රී පාර්ශවයට ඉතා යහපත්ය. ශරීර සනීපයට ඇති බාධා අවම කරයි. වම් පියයුර යටින් උපන්්් ලපයක් ඇත්නම් පතිවත රකී. පිරිමි දරුවන් ලබන පිහිටීමකි. යුග දිවිය තුළ උපරිම සතුට විඳී. පුරුෂ පියයුරු මත උපන් ලප පිහිටීම විවාහයට යහපත්ය. බිරිඳට බොහෝ ආදරවන්තය. ගුණධර්ම රකී. බොරු නොකියන අවංක කෙනෙකි. උදරයේ උපන් ලපයක් ඇති ස්ත්‍රියට දරුඵල සහිතය. එම දරුවන් බොහෝ පින්වන්තය. පුරුෂයකුගේ උදරයේ උපන් ලපයක් ඇත්නම් සිතිවිලි ශුභ නොවේ. උදරයේ වම් පස නම් චරිත කැලල් ඇතිවන අයුරින් වැඩ කරයි. නාභියේ උපන් ලපය ඇත්නම් වෙසෙසින් හදිසි අනතුරු වලින් පරෙස්සම් විය යුතුය.
ස්ත්‍රී යෝනියෙහි හෝ පුරුෂ ලිංගයෙහි පිහිටන උපන් ලප මගින් පෙන්නුම් කරන්නේ අතෘප්තිකර හෝ විකෘති කාමාශාවයි. නිතඹේ උපන් ලප ඇත්නම් හොඳ ගතිගුණ පිහිටයි. කාන්තාවකගේ දකුණු නිතඹේ ඇති උපන් ලපයෙහි අනාගතය දීප්තිමත් බව කියැවේ. කලව වල උපන් ලප පිහිටි අය කාමාධිකය. ආර්ථික අතින්ද ශක්තිමත් වේ. දණහිස් මත පිහිටන උපන් ලප අහංකාරකමේ ලක්‍ෂණයකි. අදූරදර්ශිය. කෙණ්ඩා වල උපන් ලප පිහිටීම නිතර ගමන් බිමන් ඇත ිකරයි. ඇස්වටයේ උපන් ලපය ඇති අය අන්‍යයන් සතුරු කර ගනී. පිටි පතුලේ උපන් ලප පිහිටීම මවුපියන්ට අපල ඇති කරයි. දකුණු කකුලේ නම් පියාටද වම් කකුලේ නම් මවටද අපල සහිතය.
ජ්‍යොතිෂවේදිනී, ආර්. ඩබ්ලිව්. නිලූකා ලලන්ති
දිවයින