බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය වසර තිස් හතරක (34) බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබෙනවා.
ඒ, එම නඩුව කොළඹ මහාධිකරණය විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ දී යි.
තිස්පස් හැවිරිදි දෙදරු පියෙකුට මහාධිකරණය මෙලෙස දඩුවම් නියම කළ අතර එම වසර තිස් හතරක දඬුවම වසර පහළොවකින් ගෙවී යා යුතු බවට නියම කළ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් දස දහසක දඩ මුදලක් ද වින්දිත දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ද ගෙවන ලෙස නියම කළා.
එම දඩ මුදල් හා වන්දි මුදල් නොගෙවන්නේ නම් විත්තිකරුට අමතර වසර පහක ලිහිල් සිර දඬුවම් නියම කරන බව විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කළා..
සිය දියණියගේ ම වයසේ අසල්වැසි නිවසක දැරියක, දියණිය සමග සෙල්ලම් කිරීම සඳහා නිවසට පැමිණි අවස්ථාවේ දී තම දියණිය වෙළෙඳ සලට පිටත් කර යවා එම අසල්වැසි දැරිය නාන කාමරයට රැගෙන ගොස් ලිංගික අතවරයක් සිදු කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා 4ක් යටතේ මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව චෝදනා හතරකින් චෝදනා 3කට අධිකරණය මගින් මෙලෙස විත්තිකරු වරදකරු කෙරුණා.
හංසි නානායක්කාර - මව්බිම