තරග පාවාදීම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ට එල්ලවන බරපතළ චෝදනාවකි. මෙවැනි ක්‍රියාකාරකම් රැසක් පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයද විමර්ශන කිහිපයක් අරඹා තිබේ.
ඩොලර් කන්දරාවලට යටවෙමින් ඇතැම් ක්‍රීඩකයෝ මෙවැනි දේ සිදුකරති. මෙම ජාවාරමේ යෙදෙන බොහෝමයක් පිරිස් කෝටිපති සූදු ක්‍රීඩාවල හිමිකරුවෝ වෙති. නැතහොත් බුකිකරුවෝ වෙති. මොවුහු ඩොලර් විශාල ලෙස ගෙවමින් ඇතැම් ක්‍රීඩකයන් බිලිගනිති. එම ක්‍රීඩකයන් ලවා තරග තීරණ වෙනස් කරගෙන එමඟින් ඩොලර් කෝටි ගණනින් උපයති.
බුකිකරුවන්ට අමතරව මෙවන් තරගාවලීන් සංවිධානය කරමින් ඒවාට සහභාගි වන කණ්ඩායම්වල හිමිකරුවන්ද මෙවන් දූෂිත ක්‍රියා පිටුපස සිටින බව හෙළි වී තිබේ.
රේස් ඔට්ටුවලට මෙන්ම ක්‍රිකට් ඔට්ටුවලටද අද ඇත්තේ විශාල ඉල්ලුමකි. ඉන්දියාවේ හා පාකිස්තානයේ මෙවන් ඔට්ටු ඇල්ලීම් සඳහා ප්‍රේක්ෂකයන් අතර ඇත්තේද තරගයකි. ශ්‍රී ලංකාවටද දැන් මේ රෝගය වැලඳී තිබේ. කලක් අශ්ව රේස් හා සුනඛ රේස් සඳහා ඇති ඉල්ලුම අභිභවා ක්‍රිකට් ඔට්ටු අල්ලන පිරිස වැඩි වී ඇති බව මේ වනවිට වාර්තා වී ඇත. කුමන රටක මොනම ක්‍රිකට් තරගයක් පැවැත්වුවද එම තරගවලදී ජයග්‍රහණය කරන කණ්ඩායම මෙන්ම පිතිකරුවන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය, පන්දු යවන්නන් දවා ගන්නා කඩුලු ගණන ආදී නානාවිධ ඔට්ටු සඳහා මේ වනවිට බුකි මඟින් මුදල් අයකිරීම් හා ගෙවීම් සිදුකරනු ලබයි.
මේ අනුව විදේශීයව තරග සංවිධානය කරමින් ඇතැම් ක්‍රීඩකයන් බිලිගන්නා මෙම ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් බොහෝමයක් කෝටිපති බුකිකරුවන් බවත් ඔවුන් කිහිපදෙනකු මෙම මාෆියාව මෙහෙයවන බවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයට තොරතුරු ලැබී ඇත. එබැවින් මෙවැනි ජාවාරම්කරුවන් සමඟ සබඳකම් පවත්වන ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි අයි.සී.සී.ය දැඩි අවධානයකින් සිටියි. මෙවන් ක්‍රියා වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් නොයෙකුත් නීතිරීති පනවා තිබේ.
ක්‍රීඩකයන් මුදලට තරග පාවාදී ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට ජාත්‍යන්තරව ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීම පවා තහනම් කිරීමට මෙන්ම ඔවුන්ට දඬුවම් පැනවීමටත් අයි.සී.සී.යට හැකියාවක් තිබේ.
එමෙන්ම ක්‍රිකට් තරග පාවාදීම හා නීති විරෝධී ඔට්ටු ඇල්ලීම වැළැක්වීම, දූෂණය වැනි වැරැදි විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් මෙරටද ස්ථාපිත කර තිබේ. ඒ 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනත යටතේය. ඒ අනුව තමාට හෝ වෙනත් තැනැත්තකුට මූල්‍යමය හෝ වෙනත් වාසියක් සිදුවන හෝ වෙනත් තැනැත්තකුට මූල්‍ය අවාසියක් හෝ පාඩුවක් සිදුවන යම් ඔට්ටු ඇල්ලීමක, සූදු ක්‍රීඩාවක හෝ වෙනත් එබඳු ක්‍රියාකාරකමක නිරත වීමේ හේතුවෙන් යම් ක්‍රීඩාවක් හෝ ක්‍රීඩා ඉසව්වක් දූෂ්‍ය වන බව දැන දැනම ඒවායේ නිරත වන පුද්ගලයෝ ක්‍රීඩාවල තරග පාවාදීමේ වරදට හසුවෙති. මෙවන් කරුණු හතරක් යටතේ පැහැදිලිව ක්‍රිකට් ක්‍රීඩකයන් දැනුවත් කර තිබේ.
කෙසේ වෙතත් මෙවන් නීතිරීති, පනත් ආදිය කොතෙක් තිබුණත් ජාත්‍යන්තර මට්ටමින් කරන පාවාදීම රහසිගතව සූක්ෂ්මව කෙරෙන බවද අයි.සී.සී.ය හඳුනාගෙන තිබේ.
මෙවන් ක්‍රියාවල සැබෑව හෙළි කරගැනීමේ අරමුණෙන් ක්‍රීඩා වරද වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකාවේ විශේෂ විමර්ශන ඒකකයක්ද ජාත්‍යන්තර විශේෂ විමර්ශනයක් අරඹා තිබේ. ඒ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් කෙරුණු දැනුම් දීම අනුවය.
මෙම විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වන ජගත් ෆොන්සේකා මහතාය. මේ තනතුර සඳහා ඔහු පත්කෙරී ඇත්තේ පොලිස්පතිවරයා විසිනි.
රාජ්‍ය බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයා ලෙසත්, රහස් පොලිසියේත්, ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙසත්, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසත් රාජකාරි කරද්දී ඔහු මෙරට සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක විමර්ශන භාරව සිටි නිලධාරියෙකි. දක්ෂ නිලධාරියකු වූ මොහු විසින් අනාවරණය කර ගැනුණු එවන් විමර්ශන බොහෝමයකි.
එහෙත් මෙම විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස මොහු පත් කෙරුණුද මෙම ඒකකය මඟින් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය පොලිස්පතිවරයාට ඉදිරිපත් නොකර එය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. ලේකම්වරයා එම ලිපිගොනු වැඩිදුර විමර්ශන සඳහා නීතිපතිවරයා වෙත යොමුකරනු ඇත.
මේ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මෙම ඒකකය වෙත දැනුම් දී ඇත්තේ එල්.පී.එල්. ක්‍රීඩා තරගාවලියේ තරග පාවාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයට යොමුකළ පැමිණිල්ලක් සම්බන්ධවය.
මෙවන් තරග පාවාදීම් සඳහා ක්‍රීඩකයන්ට ඍජුව හෝ වක්‍රව කිසිවකු කතා කරන්නේ නම් ඒ බව ක්‍රීඩා බලධාරීන්ට හෝ අන්තර්ජාතික දූෂණ වැළැක්වීම සඳහා ජාත්‍යන්තරව පත්කර ඇති ශ්‍රී ලංකා නියෝජිතයන්ට හෝ අමාත්‍යාංශ ලේකම්වරයාට හෝ විශේෂ විමර්ශන ඒකකයට ලිඛිතව ඉදිරිපත් කළ හැකිවේ. ඒ අනුව මෙම ක්‍රීඩකයන් දෙදෙනාට තවත් ක්‍රීඩකයකු මුරුසියේ සිට දී ඇති දුරකථන ඇමැතුමක තොරතුරු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයට දැනුම් දෙනු ලැබ තිබේ. මෙම ඇමතුම ලබාගත් ක්‍රීඩකයන් ඒ වනවිට එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩා කරමින් සිට ඇති අතර ඔවුහු ප්‍රධාන අගනගරයක නමින් තිබු කණ්ඩායමක් නියෝජනය කළ අය වෙති.
මුරුසියේ සිටි ක්‍රීඩකයාද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පන්දු යැවීමට වැඩි හපන්කම් දක්වා තුන් ඉරියව්වේම කැපී පෙනුණු දක්ෂ ක්‍රීඩකයෙකි. ඔහු මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නියෝජනය නොකරන රටවල ක්‍රිකට් තරගවලට සහභාගි වෙමින් සිටින අයෙකි.
මුරුසියේ දුරකථන ඇමතුම ලැබුණේද ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළේ පිතිකරුවකු වූත්, ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රියා කළ, විස්සයි විස්ස තරගාවලිවලදී නායකත්වය දැරූ, ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට නිවේදනයක්ද නිකුත් කළ දක්ෂ ක්‍රීඩකයකුටම වීම විශේෂත්වයකි. දුරකථන ඇමැතුම් දෙනු ලබන ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයා මොහුට පවසා ඇත්තේ අයි.පී.එල්. තරගාවලියට සහභාගි වූවාට ලැබෙන මුදලට වඩා වැඩි මුදලක් ලබාදිය හැකි බවත් ඒ සඳහා ඔහුගේ උපදෙස් අනුව ක්‍රියා කළයුතු බවත්ය.
කෙසේ වෙතත් තරග පාවාදීම් ගැන හොඳ අවබෝධයකින් සිටි මේ ක්‍රීඩකයන් දෙපළ එම ඇමැතුම් සිය දුරකථනවල පටිගත කර ගැනීම පැසසිය යුත්තකි. මෙහි බරපතළකම දත් මෙම ක්‍රීඩකයන් දෙපළ ඒ ගැන අන්තර්ජාතික ක්‍රිකට් නියෝජිතයා මාර්ගයෙන් අයි.සී.සී.ය දැනුවත් කළේ ඉන් පසුවය.
ඒ අනුව විශේෂ විමර්ශන ඒකකය මේ පිළිබඳ විමර්ශනයක් ඇරැඹුවේ අයි.සී.සී.ය ලිඛිතව දැනුම්දීමේ ප්‍රතිඵලයක් හැටියටය. මේ වනවිට මෙවන් ක්‍රියාදාමයක තොරතුරු විශේෂ විමර්ශන ඒකකයටද ලැබී තිබිණි. ඒ පිළිබඳව අවධානයෙන් සිටියද ඒ වනවිට අදාළ ඒකකයට ලිඛිත පැමිණිල්ලක් ලැබී නොතිබිණි. අයි.සී.සී.ය විසින් මේ පිළිබඳ විමර්ශනය කරන ලෙස දැනුම්දීමත් සමඟ විශේෂ විමර්ශන ඒකකයේ කිසියම් ගැටලුකාරි තත්ත්වයක් ඇති වී ඇත්තේ ඒ වනවිටත් එල්.පී.එල්. තරගාවලිය පැවැත්වෙමින් තිබීම නිසාය.
එබැවින් විමර්ශන ඒකකය තීරණය කළේ තරගාවලිය නිම වනතුරු විමර්ශන පසෙක තැබීමය. එල්.පී.එල්. තරගාවලිය නිමා වීමත් සමඟ විශේෂ විමර්ශන ඒකකයට මුලින්ම කැඳවූයේ අයි.සී.සී.යට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් දෙදෙනාය. ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ නිලධාරීන් ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු සාක්කි ලෙස තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුගේ හා පුහුණුකරුවන්ගෙන්ද ප්‍රකාශ ලබාගන්නට පියවර ගෙන තිබිණි. ඒ අනුව මේ වන විට මේ සම්බන්ධයෙන් හයදෙනකුගේ ප්‍රකාශ ලබාගෙන ඇත.
ඉන් අනතුරුව විශේෂ විමර්ශන ඒකකය පැමිණිලිකාර ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනාගේ ජංගම දුරකථන දෙකද සිය භාරයට ගෙන ඇත. ඒ දුරකථන ඇමතුම පිළිබඳ විශ්ලේෂණයක් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීමටය.
මෙම ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුවූයේ එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කළ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනාට දුරකථන ඇමතුම ලබාදුන් ක්‍රීඩකයා වෙතය. එහෙත් ඔහු ඒ වන විට සිටියේ විදේශගතවය. ඒ නිසා ඔහු මෙරටට එනතුරු රැඳී සිටීමට විමර්ශන නිලධාරීන්ට සිදුවිය. ඔහු මෙරටට පැමිණීමෙන් පසු හෝකන්දර සිය නිවෙසේ රැඳී සිටියේ සෞඛ්‍ය රීතිවලට අනුව දින 14ක් නිරෝධායනය වෙමිනි.
නිරෝධායන කාල සීමාව නික්ම ගිය පසු විශේෂ විමර්ශන නිලධාරීහු ඔහු සොයා ගියහ. ඔහු නිවසේ සිටියේය. තමන් පැමිණි කාරණය පිළිබඳ ඔහු දැනුවත් කළ නිලධාරීහු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව කියා සිටියහ. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. නීතිඥ සහාය නොමැතිව එවන් ප්‍රකාශයක් ලබාදිය නොහැකි බව ඔහු නිලධාරීන්ට කීවේය. එසේ නම් මේ සම්බන්ධයෙන් කතාබස් කළ ජංගම දුරකථන විමර්ශන සඳහා අවශ්‍ය බව නිලධාරීහු ඔහුට කීහ. ඊට කැමැත්ත පළ කළ ඔහු සිය දුරකථනය ඔවුන්ට දුන්නේය. එය සිය භාරයට ගත් නිලධාරීන් ඔහුට පැවැසුවේ ඉක්මනින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙන ලෙසය.
විමර්ශන නිලධාරීන් ඔහුගේ පැමිණීම බලාපොරොත්තු වුවද ඔහු විමර්ශන ඒකකය මඟහරින බව නිලධාරීන්ට වැටහිණි. ඒ අනුව නිලධාරීන්ට කිසියම් සැකයක්ද ඇති විය. ඒ මෙම ක්‍රීඩකයා භාරදුන්නේ වෙනත් ජංගම දුරකථනයක්ද කියාය. ඒ අනුව අදාළ ජංගම දුරකථනය මේ වන විට වැඩිදුර විමර්ශනය සඳහා රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබේ.
කෙසේ වෙතත් ඒ වන විට දෙවරක්ම විශේ්ෂ විමර්ශන ඒකකයට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබිණි. ඒ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පමණක් බව ඔහුට දැනුම් දුන්නද ඔහු නොයෙකුත් හේතු කියමින් නීතිඥවරුන් ඉදිරිපත් කරමින් සිය ප්‍රකාශය ලබාදීම මඟහරින බව නිලධාරීන්ට ඒත්තු ගියේය.
මේ අතර නොයෙකුත් පුද්ගලයන් මෙම විමර්ශනය නතර කිරීමට ගත් උත්සාහයන් ගැනද වාර්තා විය. එහෙත් විමර්ශන නතර නොවීය.
මේ අතර තුන්වැනි වරටත් මෙම ක්‍රීඩකයාට විමර්ශන ඒකකයට එන ලෙස දන්වා තිබිණි. ඒ අනුව ඉකුත් පෙබරවාරි 26 වැනිදා උදෑසන 11 ට විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙන බව ඔහු දැනුම් දී තිබිණි. එහෙත් ඔහු එදිනද පැමිණියේ නැත. ඔහු ඒ වෙනුවෙන් නීතිඥ සහාය පතා තිබිණි.
කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයාට එරෙහිව ඇත්තේ එල්.පී.එල්. තරගාවලිය පැවැත්වෙද්දී ඊට සහභාගි වූ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුට දුරකථන ඇමතුමක් ලබාදීම පිළිබඳව චෝදනාවක් පමණී. අදාළ ඇමතුම තරග පාවාදීමක් සිදුකිරීමට ගත් උත්සාහයක් බවට නිශ්චිතවම කිව නොහැකි බව විමර්ශන නිලධාරීන්ගේද මතයයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව අප කළ විමසීමකදී විශේෂ විමර්ශන ඒකකයේ ජේයෂ්ඨ නිලධාරියෙක් කීවේ මෙම ක්‍රීඩකයා ප්‍රකාශයක් ලබාදීම මඟහරින්නේ නම් මේ පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කර අධිකරණය මඟින් නොතීසි නිකුත් කරන බවය.
මේ පිළිබඳව ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ පනතේ පැහැදිලිව දක්වා ඇති බව විමර්ශන නිලධාරියෙක් කීවේය. ඒ අනුව විමර්ශනය කරනු ලබන යම් කාරණයක් සම්බන්ධයෙන් පිළිතුරු දීම සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කරන හෝ පැහැරහරින පුද්ගලයකුට මෙන්ම දැන දැනම සාවද්‍ය අසම්පූර්ණ තොරතුරු ලබාදෙන අයකුද දඬුවම් ලැබිය හැකි වරදකට හසුවන බවද කියැවේ.
එමෙන්ම විමර්ශනයට අදාළ තොරතුරු වෙනස් කරන, ද්‍රව්‍ය සඟවන, විනාශ කරන පුද්ගලයෝද මේ පනත යටතේ වරදක් සිදුකරති. මහෙස්ත්‍රාත්වරයකු විසින් වරදකරු කරනු ලැබුවහොත් ඔවුනට රුපියල් ලක්ෂ දෙකකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු තුනක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ ඒ දඬුවම් දෙකටම හෝ යටත් කළ හැකි වෙයි.
එමෙන්ම ක්‍රීඩා තරග පාවාදීමේ, දූෂ්‍ය කිරීමේ, ක්‍රීඩා නීති විරෝධීව මෙහෙයවීමේ, නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ, ආධාර දීමේ, අනුබල දීමට තැත් කිරීමේ ආදී කිනම් හෝ වරදකට හසුවන්නන්ට රුපියල් මිලියන සියයකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දහයක් හෝ නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ මෙම වරද දෙකටම හෝ යටත් විය යුතු බවද විමර්ශන ඒකකය වැඩිදුරටත් අවධාරණය කළේය.
කීර්ති මෙන්ඩිස්
මව්බිම