බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද සමඟ ළිඳකට පැන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා.
පවුල් ආරවුලක් හේතුවෙන් සිය දියණිය සමඟ මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක්.
නිවස අසල ඉඩමක ඇති අඩි 40ක් පමණ ගැඹුරු ළිඳක තිබූ අදාල කාන්තාවගේ සහ දියණියගේ සිරුරු දැක ඇති ඥාතීන් විසින් ඒ සම්බන්ධයෙන් බිබිල පොලීසියට දැනුම්දී තිබෙනවා.
හමුදා රජකාරියේ නිරත සිය සැමියා සමඟ ඊයේ රාත්‍රියේ දුරකථනය ඔස්සේ මෙම කාන්තාව බහින් බස් වීමක් සිදුවූ බවත් ඉන් පසුව ඇය දියණිය ද සමඟ නිවසේ නොසිටි බවත් එම අවස්ථාවේ නිවසේ සිටි කාන්තාවක් පොලිසියට පවසා තිබෙනවා.
පසුව සිය බිරිඳ සහ දරුවා සම්බන්ධයෙන් සොයා බලන ලෙස සිය සහෝදරයා දුරකථන ඇමතුමක් දී දන්වා සිටි බවයි නිවසේ සිටි කාන්තාව වැඩිදුරටත් පවසා ඇත්තේ.
ඒ වනවිටත් දෙදෙනාම නිවසේ නොසිටීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමේදී අසල්වැසි ඉඩමක තිබූ ළිදක් තුල පාවෙමින් තිබියදී ඔවුන්ගේ සිරුරු සොයා ගැනීමට හැකිව තිබෙනවා.