ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ රජයේ නායකයන් සිර අඩස්සියට ගෙන බලය පැහැර ගත් මියන්මාර හමුදාවේ නිල ෆේස්බුක් වෙබ් පිටුව මකා දැමීමට ෆේස්බුක් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ හමුදාව සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ තවත් විරෝධතාකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි.
ප්‍රචන්ඩත්වය වැළැක්වීම සඳහා වන සිය ගෝලීය ප්‍රතිපත්තියට අනුකූළව මියන්මාර හමුදාවේ ෆේස්බුක් පිටුව මකා දැමූ බවයි ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළේ.
දැන් මියන්මාරයේ බලය අත්පත් කරගෙන සිටින එරට හමුදා නායක මින් - ඔන් - ලයින් ඇතුළු හමුදා නායකයන් 20 දෙනෙකුගේ ෆේස්බුක් ගිණුම් මේ වනවිටත් තහනම් කර තිබෙනවා.
මේ අතර මියන්මාර ආරක්ෂක හමුදා විසින් නිරායුධ විරෝධතාකරුවන්ට වෙඩි තැබීම අමෙරිකා එක්සත් ජනපදය විසින් දැඩි ලෙස හෙලා දැක තිබෙනවා.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් කියා සිටියේ අමෙරිකාව මියන්මාර ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවයි.
අවුන්සාන් සුකී ඇතුළු මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ රජයේ ප්‍රධානීන් සිරඅඩස්සියට ගනිමින් පසුගිය පළමු වැනිදා එරට බලය පැහැරගත් හමුදා නායකත්වයට එරෙහිව එක්සත් ජනපදය මෙන්ම බ්‍රිතාන්‍යය, කැනඩාව සහ නවසීලන්තය විසින්ද මේ වනවිට සම්බාධක පනවා තිබෙනවා.
හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ඊයේ දිනයේත් මියන්මාරයේ ප්‍රධාන නගරවල දැවැන්ත විරෝධතා රැලි පැවැත්වුණු අතර, එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ හි පැවති රැලියකදී හමුදා වෙඩි පහරින් විරෝධතාකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
තවත් විසි දෙනෙකු එහිදී තුවාල ලබා තිබෙනවා.
මේ අතර, යුරෝපා සංගමයේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීයා ජෝශප් බොරෙල් ප්‍රකාශ කළේ මියන්මාර හමුදා නායකයින්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.
මියන්මාරයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට දිනයේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් බ්‍රසල්ස් නුවරදී පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.