රංගන චාරිකාවට වසර විසි පහක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් පුංචි උත්සවයක් සංවිධානය කොටකවදද සමන් මේ කර්තව්‍ය තියෙන්නේ?
අගෝස්තු තුන. සවස තුනට මහවැලි කේන්ද්‍රයේ ගාමිණී දිසානායක ශ්‍රවණාගාරයේදී තමයි වැඩේ තියෙන්නේ.
එදාට අපේ සංස්කෘතික අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්මිය එනවා. මට විශේෂ උපහාරයක් කරනවා කියලා ආරංචියි. සමන් ආ ගමන් මඟ ලෙසටයි උත්සවය නම් කරලා තියෙන්නේ. ඉරේෂ් ලොකු බණ්ඩාරගේ පුංචි වලව්ව ටෙලි නාට්‍ය මතක ඇතිනෙ. මං ඒකෙ කළේ සරණපාල කියලා චරිතයක්. මගේ රංගන ජීවිතයේ සන්ධිස්ථානයක් කියලා කියන්නත් පුළුවන් පුංචි වලව්ව කියන නාට්‍යය. ඒක ටෙලි චිත්‍රපටයකට එඩිට් කරලා එදාට පෙන්නනවා. මගේ යාළු මිත්‍රයෝ ගොඩක් එදාට එනවා කියලා කිව්වා.
සමන් කොහොමද රංගනයට එන්නේ?
මං ජීවිතේට නළුවකු වෙන්න හිතපු කෙනෙක් නෙවෙයි. රංගන ශිල්පී හැරී විමලසේන මගේ යාළුවා. ඔහු මට දවසක් දයා අල්විස්ව මුණ ගැස්සුවා. ඒ හමුවීම නිම වුණේ දයා අයියා මාව නළුවකු කරනවා කියන පොරොන්දුවෙන්. කිව්වා වගේම ඔහු මාව ගත්තා තහංචි කියලා නාට්‍යයකට. ඊට පස්සේ එක දිගට නාට්‍ය ගලාගෙන ආවා. යස් බොස්, කීටයා, නෝනාවරුනි මහත්වරුනි, එහෙත් එහෙමයි වගේ නාට්‍ය ගොඩක හිටියනේ.
ටෙලි නාට්‍ය කීයක විතර රඟපෑවද?
සීයකට එහා. දෙදහස් දහයෙදි තමයි සීය පැන්නෙ. චිත්‍රපට නම් තිස් තුනක විතර රඟපෑවා.
ඔබට වැඩිපුර ලැබුණෙ හාස්‍යෝත්පාදක සහ කළු චරිත නේද?
ඔව්. මාව ඊට ගැළපෙන නිසා වෙන්න ඇති. බේදයක් නැහැ ඕනෑම චරිතයක් මං කරනවා. ලැබෙන සියලුම අවස්ථා පැහැර හරින්නේ නැහැ.
සමන් රැකියාවකුත් කරන ගමන් නේද රඟපාන්නේ?
ජයවර්ධන පුර රෝහලේ තමයි මං රාජකාරි කරන්නේ. එතන පිරිසගෙන් මට විශාල සහායක් ලැබෙනවා මගේ රංගන කටයුතුවලට. මේ උපහාර උලෙළ ගැන මුලින්ම කිව්වෙත් අපේ ප්‍රධාන හෙදි නිලධාරිනිය. ඇය විමසුවා මං කොච්චර කල් රඟපානවද කියලා. එහෙම ගණන් හදලා බලපුවාමයි අහු වුණේ මං ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විසි පහක් කියලා.
රඟපාන්න ගිහින් වෙච්ච අමතකම නොවන මතක සටහන මොකක්ද?
එකම එක මතක සටහනයි තියෙන්නේ. ජීවිතේට ඒක අමතක වෙන්නේ නැහැ. නාට්‍යයක් කරලා එද්දී මං ආව වාහනය ඉස්සරහට හරකෙක් පැන්නා. ඌව බේරන්න ගිහින් වාහනය බෝක්කුවක වැදුණා. යටි ඇන්දෙ දතක් කැඩුණා. උඩු ඇන්දෙ දතක් පිටිපස්සට ගියා. ජීවිතේ තියෙනකම් ඒක අමතක වෙන්නේ නැහැ.
රඟපාලා ලැබුණු ජනප්‍රියත්වය ගැන මොකද කියන්න තියෙන්නේ?
ගොඩක් දැනෙනවා ජනප්‍රියත්වය. මට ෆේස්බුක් පේජස් නැහැ. නමුත් මගෙත් එක්ක ෆොටෝස් අරන් සමහරු ෆේස්බුක් දානවා. එතකොට එයාලගෙන් අහන්නේ මං ගැන. එහෙම බලන කොට මං ජනප්‍රියයිනෙ.
සමන් ආ ගමන් මඟට උදව් කළේ කවුද?
අති විශාල පිරිසක් මට උදවු කළා. චන්ද්‍රරත්න මාපිටිගම, සුනිල්සෝම පීරිස්, උදයකාන්ත මහත්තයා, සුරන්ජන් විජේනාම, වසන්ත මොරගොඩ , දයා අල්විස්, සුනිල් රත්නායක, ක්‍රිෂ්ටි ශෙල්ටන් ප්‍රනාන්දු ඒ අතරින් කිහිප දෙනෙක්. මගේ උපහාර උත්සවයටත් උදවු පදවු කරන අයව මතක් කළොත් හොඳයි කියලා හිතෙනවා. අඹන්වල ඥානාලෝක හිමි, හේමාල් ජයවික්‍රම, ජාතික සේවක සංගමය, එක්සත් ජාතික කලා සංසදය, අපේ රෝහලේ කාර්ය මණ්ඩලය.