"මම කතෝලිකයෙක් වීමට පෙර මනුෂ්‍යත්වය ලබලා මේ ලෝකෙට ආවේ. මම හැමතිස්සේම ඒ මනුෂ්‍යත්වයට ගරුකරන මනුෂ්‍යයෙක්. හැම මනුස්සයෙක්ටම ආදරේ කෙනෙක්. මගේ න්‍යාය තමයි හැමට එකවිදිහට ප්‍රේම කරන එක..." මේ අයුරින් අදහස් දක්වන්නේ ඔබ ආදරය කරන කලාකරුවෙක්. ඔහු නලින් පෙරේරා. මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ ඔහු කළ ප්‍රකාශයක් සංසරණය වෙමින් පවතිනවා. දුකින් පීඩාවට පත් මිනිස්සුන්ට ඒක පොඩි හෝ සහනයක් ගෙනදුන්නා. මේ ඔහු පුවත්පතක් සමඟ කළ කතාබහක්....
නලින්, මේ දවස්වල මොකද කරන්නේ ?
වැඩකටයුතු ගැන නම් සතුටක් නැහැ. රටේ වාතාවරණයත් එක්ක වැඩ ඔක්කොම අඩාලවෙලා තියෙන්නේ. මේ වෙලාවේදී අපේ ක්ෂේත්‍රයට දරුණු පහරක් එල්ලවෙලා තියෙන්නේ. බහුතරයක් වැඩ කටයුතු කල්ගිහිල්ලා සහ කැන්සල් වෙලා තියෙනවා. මනසටත් කිසි සතුටක් ප්‍රීතියක් නැතුව තමයි ඉන්නේ.
මේ ප්‍රහාරය හමුවේ ඔබ කලාකරුවකු ලෙස බොහෝ සෙයින් කම්පනයට පත් වූ බව දැකගන්නට ලැබුණා ?
ඔව්, අනිවාර්යෙන්. මගේ ගම්වාසීන්, අසල්වාසීන්, පාරතොටේ යද්දි කතා කරලා අතවනපු මිනිස්සු අද ජීවතුන් අතර නෑ. අනෙක් අය හැඩූ කදුළින්. ඒක මට බොහොම දරුණු විදියට දැනෙනවා.
ඔබේ සංවේදී ප්‍රකාශයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා. ඒ ගැන අදහසක් දැක්වුවොත් ?
මෙහෙමයි. මම කතෝලිකයෙක් වීමට පෙර මනුෂ්‍යත්වය ලබලා මේ ලෝකෙට ආවේ. මම හැමතිස්සේම ඒ මනුෂ්‍යත්වයට ගරුකරන මනුෂ්‍යයෙක්. හැම මනුස්සයෙක්ටම ආදරේ කෙනෙක්. මගේ න්‍යාය තමයි හැමට එකවිදිහට ප්‍රේම කරන එක. ඒ ආදරය ලාංකිකයෙක් හැටියට බෙදාගන්න මේක කදිම අවස්ථාවක්. මේ අවස්ථාවෙ හැටියට බහුතරයක් බෞද්ධ ජනතාව එක්ක පහනක් පත්තුකරලා වෙසක් කූඩුවක් හදලා වෙසක් සමරන්න අපි පාර හදාගත යුතුයි. කතෝලිකයෙක් විදිහට නෙවෙයි ඒ ලාංකිකයෙක් විදිහට. ඒ නිසා මම කියන දේ තමයි ආගම් භේදයක් නැතුව සහජීවනයෙන් අපි ඒ දේ කළ යුතුයි. ජාතිවාදයක් සහ ආගම්වාදයක් තියන තැනක කිසිම දෙයක් ඉතුරුවෙන්නේ නෑ කියලා අපි දන්නවා. මුළු මහත් ජනතාවක් අපි අහනවා. ඒ නිසා අපට මිනිස්සුන්ගේ හැගීම් අවුස්සන්න බෑ. මොකද ඒක න්‍යාය පත්‍රයේ නෑ. මමනම් කියන්නෙ මේ මනුෂ්‍යත්වය උතුම් කොට සලකන්න කියලා. මේ දේවල් තමයි සමාජගත විය යුත්තේ. කලාකරුවෙක් විදියට මට මුළු රටක් අත්පුඩි ගහනවා. අපිව ඔසවා තබන්නෙ ඔවුන්. එහෙව් මිනිසුන් වෙනුවෙන් මම මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද කියන එකයි මම හැමවෙලාවෙම හිතන්නේ. ඉතිං අවස්ථාවාදී නොවී මේ මොහොතේ යහපත් සිතුවිලි සහිත සමාජයක් ඇතිකරන එකයි මට වැදගත්. මෙය ෆේස්බුක් එකේ දකින පණිවුඩයක් විදිහට නොවී ප්‍රායෝගික දෙයක් වෙන්නයි මට ඕනෑ. ඒ දේ වෙනුවෙන් තමයි මම ඒ සටහන දැම්මේ.
ලාංකිකයෙක් විදියට මේ සිදුවීම ඔබ පෞද්ගලිකව දකින්නේ කොහොමද ?
ලාංකිකයෙක් විදිහට මට ලෝකේ සිංහල කතාකරන්න තියෙන්නේ මේ රට විතරයි. වෙන රටක් නෑ. ඒ නිසා මේ රටේ වටිනාකම ලාංකිකයෙක් විදියට මට දැනෙනවා. ඒ දේ ඉතා ඉහළයි. හැම ජාතියක්ම සහජීවනයෙන් හිටපු මගේ රටට මොකද වුණේ කියන එකට වගකිවයුත්තන් අපි හොයාගත යුතුයි. මිනිස්සු මැරෙනකම් සතුටින් ඉදලා මැරෙන්නයි මම කැමැති. අකාලයේ මැරෙන්න මම කැමැති නෑ. අපේ මැරිච්ච මිනිස්සු තුළ ගමක්, රටක් අල්ලන්න හිතේ තිබුණෙ නෑ. ඒ මැරුණේ හරි අසරණ මිනිස්සු. මේ අයට මේ ජීවිත නැතිවුණේ කවුරු නිසාද කියලයි අපි දැන් බලන්න ඕනෑ.