මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී අගනා ද්විත්ව ශතකයක් ලබාගනිමින් තවත් ලෝක වාර්තාවක් අබියස සිටින කුමාර් සංගක්කාර තම අනාගත ටෙස්ට් දිවිය පිළිබඳව කරුණු කිහිපයක් පලකර තිබෙනවා.
ඔහු පවසන්නේ මේ සියළු දේ රඳා පවතින්නේ ලෝක කුසලාන තරගාවලියෙන් පසු සිදුවන දේ අනුව බවයි. ලෝක කුසලාන තරගාවලියෙන් පසු කුමක් සිදුවේද, ඒ වනවිට තමන්ගේ ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් සිතිවිලි කුමන ආකාරයෙන් පවතීවිද යන කරුණු පිළිබඳවත් අනාවැකි කියන්නට අපහසු බවට ඔහු අදහස් දක්වා තිබුනා.
එසේම ඔහු තේරීම් කමිටු නිලධාරීන්ට පවසා ඇත්තේ ලෝක කුසලාන තරගාවලියෙන් පසුවත්, තවත් මාස කිහිපයක් ටෙස්ට් තරඟ වලට සහභාගි වනවාද නැද්ද යනවග ඔවුන් සමග සාකච්ඡා කිරීමට පොරොන්දු වී ඇති බවයි.
කුමාර් සංගක්කාර මේ වන විට තම ටෙස්ට් දිවියේ කඩඉම් රැසක් පසුකර ඇති අතරම ලෝක පූජිත දොන් බ්‍රැඩ්මන්ගේ වාර්තාවක් සමකිරීමට ඔහුට අවශ්‍ය වන්නේ තවත් එක් ද්විත්ව ශතකයක් පමණයි. ශ්‍රි ලාංකික ක්‍රිකට් ලෝලීන් බොහෝ පිරිසකගේ බලාපොරොත්තුව වන්නේ කුමාර් සංගක්කාර ලෝක වාර්තාවක් පිහිටුවමින් ටෙස්ට් පිටියෙන් සමුගනු දැකීමයි.