උතුරු කළුතරදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර රණාලේ සමයංඇතුළු පස්‌දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන "බත්තරමුල්ලේ බන්ටි" නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (22 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු අංගොඩ ලොක්‌කාගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකු වන අතර අංගොඩ ලොක්‌කාගේ හෙරොයින් ජාවාරමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේද මොහු බව හෙළි වී තිබෙනවා.
මෙම සැකකරු මෙම මස 28 දා දක්‌වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා කොළඹ අපරාධ කොට්‌ඨාසය ඉදිරිපත් කළ වාර්තාව සලකා බැලූ කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය සැකකරු මෙම මස 28 දක්‌වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ඊයේ (22) නියොගයක් නිකුත් කර තිබුණා.
මෙම ප්‍රහාරයේදී අංගොඩ ලොක්‌කා සමඟ බන්ධනාගාර බස් රථයට ඇතුළු වී සමයං ඇතුළු පිරිසට වෙඩි තබා ඇත්තේද බන්ටි නමැති මෙම සැකකරු බව පොලිසිය පවසනවා.
බන්ධනාගාර බස් රථයට වෙඩි තබා රණාලේ සමයං ජීවග්‍රහයෙන් රැගෙන ගොස් ඔහුට අමානුෂික ලෙස වධ දී ඝාතනය කිරීම අංගොඩ ලොක්‌කාගේ සැලසුම වී තිබු බව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී තිබුණා.
එහෙත් මොවුන් බස් රථයට ඇතුළු වන විට සමයං ඇතුළු සගයන් වෙඩි ප්‍රහාරවලට ලක්‌ව තුවාල ලබාසිටි නිසා සමයං පණපිටින් රැගෙන යැමට නොහැකි වූ බවද සැකකරු පොලිසියට පවසා තිබෙනවා.
එම අවස්‌ථාවේ අංගොඩ ලොක්‌කා විසින් සමයං බස් රථයේ බිමදිගේ ඇදගෙන ගොස් ප්‍රධාන දොරටුව අසලදී ඔහුගේ හිසට වෙඩිතැබූ බවද බන්ටි පොලිසියට පවසා තිබුණා.
කළුතර ප්‍රහාරය සම්බන්ධයෙන් සති කිහිපයක් තිස්‌සේ පරික්‍ෂණ කරමින් සිටි විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් සෙල්ල කතරගම ප්‍රදේශයේදී කළ වැටලීමකදී බන්ටි නැමැත්තා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ.
කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාරය එල්ල කිරීම සඳහා අංගොඩ ලොක්‌කා සමඟ පාතාල සාමාජිකයන් නව දෙනකු පැමිණ ඇතැයි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් මේ වන විට හෙළිව තිබෙනවා.
මෙම පිරිස අතරින් හත්දෙනකු අංගොඩ ලොක්‌කාගේ කල්ලියේ සාමාජිකයන් වන අතර ඉතිරි දෙදෙනා දෙවුන්දර මධුෂ්ගේ පාතාල කල්ලියේ සාමාජිකයෝ වන බවත් වාර්තා වනවා.
අංගොඩ ලොක්‌කා මෙම ප්‍රහාරය සඳහා පැමිණ ඇත්තේ පොලිස් පරීක්‍ෂකයකුගේ නිල ඇඳුමින් සැරසී බවත් තමා ඇතුළු සෙසු පාතාල සාමාජිකයන් බන්ධනාගාර නිලධාරීන්ගේ නිල ඇඳුමට සමාන නිල ඇඳුම්වලින් සැරසී පැමිණි බවත් සැකකරු ප්‍රකාශ කර තිබෙනවා.
අංගොඩ ලොක්‌කා පොලිස් නිල ඇඳුමෙන් සැරසී ආවේ බන්ධනාගාර බස් රථ දෙක අතරමග නතර කර ගැනීමට බව එම සැකකරු හෙළිකර ඇති අතර ප්‍රහාරය සඳහා ටී 56 ගිනි අවි 06 ක් සහ පිස්‌තෝලයක් යොදාගෙන තිබූ අතර එම සියලු ආයුධ සහ බන්ධනාගාර නිල ඇඳුම් රැගෙන ආවේ අංගොඩ ලොක්‌කා බවද ප්‍රකාශ කර තිබෙනවා.