ඒත් ඇයගේ ඉරණම නොසිතූ නිමේෂයකින් ජීවිතයම වෙනස් කරන්න හේතුවක් වුණා.
එංගලන්තය නියෝජනය කරමින් මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වට සුදුසුකම් ලබා සිටි ඇය, එම තරගයේ රන් පදක්කම දිනා ගැනීමට වැඩිම ඉඩකඩක් තිබූ දක්ෂතම ක්‍රීඩිකාවයි.
කෙසේ වෙතත්, එවකට පැවැති වර්ණභේදවාදී දේශපාලන කුණාටුව ක්‍රීඩා පිටිය ආක්‍රමණය කළා. බ්‍රිතාන්‍ය අගමැතිනී මාග්‍රට් තැචර් දකුණු අප්‍රිකාවට එරෙහිව සම්බාධක පැනවීම ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පාමින් නයිජීරියාව, කෙන්යාව, ඝානාව ඇතුළු රටවල් 32ක් ක්‍රීඩා උළෙල වර්ජනය කළා.
මේ උණුසුම් තත්ත්වය සමනය කිරීම සඳහා සංවිධායකයින් විසින් පදිංචිය පිළිබඳ නීති රීති මතු කරමින් ඇනට් කව්ලි සහ සුපිරි ධාවන ක්‍රීඩිකා සෝලා බඩ් (Zola Budd) තරගාවලියෙන් ඉවත් කිරීමට පියවර ගත්තා. ඇනට් වර්ණභේදවාදයට කිසිදු සබඳතාවක් හෝ සහයෝගයක් නොදැක්වූවද, දේශපාලන පළිගැනීමක ගොදුරක් බවට පත්වෙමින් ඇයට ක්‍රීඩක ගම්මානයෙන් පවා නෙරපා හැරුණා.
අවසානයේ ඇය සුදුසුකම් ලැබූ කාලයට වඩා වැඩි කාලයක් ගනිමින් වෙනත් ක්‍රීඩිකාවක රන් පදක්කම දිනා ගන්නා දෙස ප්‍රේක්ෂකාගාරයේ සිට කඳුළු පිරී දෑසින් බලා සිටියා. ඇගේ වසර ගණනාවක කැපවීම සහ සිහිනය එඩින්බරෝහිදී අළු වී ගියා.
දශක හතරකට පසු දියණියන් ලියන නව පරිච්ඡේදයකාලය සෙමින් ගලා ගොස් දශක හතරක්, එනම් වසර 40ක් ගත වී ඇති අතර, දේශපාලනය විසින් උදුරා ගත් ඒ මවගේ සිහිනය නැවතත් ජීවමාන කරමින්, ඇනට්ගේ නිවුන් දියණියන් වන ජෝර්ජියා නෙල් (Georgia Nel) සහ ඔලිවියා නෙල් (Olivia Nel) මෙවර දකුණු අප්‍රිකානු ජාතික පිහිනුම් කණ්ඩායම නියෝජනය කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා නිල වශයෙන් තේරී පත්ව සිටියා.
මෙහි ඇති වඩාත්ම සංවේදී සහ දෛවෝපගත සිදුවීම වන්නේ, මෙවර ක්‍රීඩා උළෙල ද පැවැත්වෙන්නේ මීට වසර 40කට පෙර සිය මව දැඩි අසාධාරණයකට ලක්වූ ස්කොට්ලන්තයේම (ග්ලාස්ගෝ නුවර) වීමයි.
මවගේ සිහිනය බිඳ වැටුණු පස් මතම, ඇගේ ලේවලින් උපන් දියණියන් දෙදෙනා ජාතික ධජය දරාගෙන පිහිනුම් තටාකයට පිවිසීමට සූදානම් වෙනවා.
සිය මව මුහුණ දුන් අතීත අසාධාරණය පිළිබඳව අදහස් දක්වමින් ඔලිවියා නෙල් පවසන්නේ මෙය ඇගේ ජීවිතය වෙනස් කළ මොහොතක් බවයි.
"මම මේ දේ කරන්නේ මගේ රට වෙනුවෙන් සහ මගේ පවුල වෙනුවෙන්. ඒ අමිහිරි ඉතිහාසය මට නියෝජනය කරන්න, ජයග්‍රහණය කරන්න සහ රටට හොඳක් කරන්න විශාල ශක්තියක් සහ ධෛර්යයක් ලබා දෙනවා."
ජෝර්ජියා ද සිය මවගේ කැපකිරීම් සහ අහිමි වීම් පිළිබඳව අතිශය සංවේදී වෙමින් කියා සිටියේ, එම කටුක අතීතය තමන් දෙදෙනාටම ජයග්‍රහණයේ සීමාව වෙත පිහිනා යාමට පෙර නොසැලෙන ශක්තියක් වනු ඇති බවයි.
ක්‍රීඩාව යනු හුදෙක් දිනුම පැරදුම පමණක් නොවන බවත්, එය කාලය, දේශපාලනය, පවුලේ බැඳීම් සහ මානව අධිෂ්ඨානය එකිනෙක ගැටෙන අපූරු ජීවන පුවතක් බවත් මෙම සහෝදරියන් දෙදෙනා ලෝකයටම පසක් කර දෙනවා.
1986 දී ඇනට් කව්ලිගේ සිහිනය අවසන් වූයේ නැහැ. එය ඇගේ දියණියන්ගේ හදවත් තුළ සඟවා තිබී වසර 40කට පසු යළිත් පොකුණෙන් මතු වී තිබෙනවා.
"සමහර සිහින කිසිදා මිය යන්නේ නැහැ. ඒවා මිය යාමට ඉඩ නොදිය යුතුයි. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ගලා ගොස්, කවදා හෝ දවසක සැබෑවක්ම වනු ඇතියි."

