ඒ, අහිංසක වනඅලීන් දෙදෙනෙකු මිනිසෙකුගේ අත්තනෝමතික ක්‍රියාවක් නිසා විදුලි සැර වැදී එකම ස්ථානයක ඛේදජනක ලෙස මියයාමේ සිද්ධියක්.
වනජීවී නිලධාරීන් සැක පළ කරන්නේ ප්‍රදේශයේ උක්ගස් වගා බිමක අයිතිකරු විසින්, වගාව ආරක්ෂා කරගැනීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස ඇද තිබූ අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් මෙම සතුන් දෙදෙනා මියගොස් ඇති බවයි.
මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අලි දෙදෙනා දෙස බැලීමේදී කාගේත් නෙතට කඳුළක් උනන්නේ නිතැතින්මයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ක පමණ වනඅලි මවක් සහ ඇය පිටුපසින් ආ වයස අවුරුදු එකක් පමණ වන කිරිසප්පා අලි පැටියෙකි.
රෑ කළුවරේ උක්ගස් රස බලන්නට ආ අහිංසක අම්මා විදුලි රැහැනේ පැටලී ගැහෙද්දී, ඇයව බේරාගන්නට හෝ ඇයට ළංවන්නට හැදූ පුංචි පැටියාටද සිදුව ඇත්තේ එකම ස්ථානයක අකාලයේ අවසන් හුස්ම හෙළන්නටයි.
වන සතුන් දඩයම් කිරීම හෝ වගා බිම් ආරක්ෂා කරගැනීම මුවාවෙන් මෙලෙස නීතිවිරෝධී විදුලි රැහැන් ඇදීම සපුරා තහනම් වුවත්, ආත්මාර්ථකාමී මිනිසුන් කරන මෙවැනි වැඩ නිසා ලංකාවේ වටිනා වනඅලි සම්පත වේගයෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇත.
මෙම සාපරාධී ක්‍රියාව සිදුකළ වගා බිමේ අයිතිකරු මේ වන විටත් ඔක්කම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මියගිය අලි අම්මාගේ සහ පැටියාගේ මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) දින සිදුකිරීමට නියමිත අතර, ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ මොනරාගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් එක්ව සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට පුළුල් විමර්ශන සිදුකරයි.