ඒ, දැවැන්ත මෝරෙකු එල්ල කළ දරුණු ප්‍රහාරයක් හේතුවෙන් එක් ධීවරයෙකු තුවාල ලබා, තවත් තරුණ විවාහක ධීවරයෙකු මුහුදට වැටී අතුරුදහන් වීමයි.
පසුගිය අප්‍රේල් 24 වැනිදා වෙන්නප්පුව වෙල්ලමංකරේ වරායෙන් මුහුදු ගිය "සංජන පුතා 13" බහුදින ධීවර යාත්‍රාවේ හත් දෙනෙකුගෙන් යුත් පිරිසක් සේවය කර තිබෙනවා. පසුගිය මැයි 30 වැනිදා ජාත්‍යන්තර මුහුදේදී ඔවුන් දැවැන්ත මෝරෙකු අල්ලා ගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එම අවස්ථාවේදී කුපිත වූ මෝරා එකවරම ධීවරයෙකුට දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එහිදී ඔහුගේ එක් ඇඟිල්ලක්ම මෝරා විසින් සපා කා දමා තිබෙනවා!
මේ බිහිසුණු ගැටුම අස්සේ මෝරා නැවත දැලෙන් ගැලවී මුහුදට වැටී ඇති අතර, ඒ සමඟම යාත්‍රාවේ ඇති වූ දැඩි තෙරපීම හා කලබලකාරී තත්ත්වය හේතුවෙන් තවත් ධීවරයෙකු එකවරම මුහුදට වැටී තිබෙනවා. මෙලෙස නොසිතු ලෙස මුහුදේ ගිලී අතුරුදහන් වී ඇත්තේ මහවැව පදිංචි, මනෝජ් දිල්රුවන් පීටර්සන් නැමැති 26 හැවිරිදි තරුණ විවාහකයෙක් බවයි යාත්‍රාවේ හිමිකරු පවසන්නේ.
මුහුද මැද සිදුවූ මේ ඛේදවාචකය පිළිබඳව මේ වන විටත් අදාළ අංශ දැනුවත් කර ඇති අතර, අතුරුදහන් වූ තරුණයා සෙවීමේ කටයුතු ක්‍රියාත්මකයි.