පෙණහලුවලට ඇතුළු වූ අවාසනාවන්ත විෂබීජයක් එක්ක දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ඉඳලා චානුක සටන් කළත්, අවසානයේ ඒ පුංචි හුස්ම පොද අපිට අහිමි වුණා.
චානුකගේ වියෝව වැඩියෙන්ම දැනුණේ විදෙස්ගතව ඉන්න ඔහුගේ ලොකු අයියාටයි. තමන් එනකල් මඟ බලාගෙන හිටපු චූටි මල්ලිගේ නිසල දේහය දකින්න වේවි කියලා ඔහු හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. ඔහු තැබූ ඒ සංවේදී සටහන කියවන ඕනෑම කෙනෙකුගේ දෑසට කඳුළු උනනවා.
මගේ චූටි මල්ලි…ඔයා ගියා කියන එක හිත තවම පිළිගන්නෙ නැහැ. පුංචි වයසකින් අපිව දාලා ගියත්, ඔයාගේ හිනාව… ඔයාගේ කටහඬ… ඔයාගේ මතකය
හැමදාම අපේ හිතේ ජීවත් වෙයි.. දුර ඉඳලා අන්තිමටවත් අත අල්ලගන්න බැරි වුණ එක, මගේ ජීවිතේ ලොකුම වේදනාව වෙයි… මේ සංසාර ගමනේ නිවී සැනසීම ලැබේවා ..මගේ චූටි මල්ලි… ඔයාව මේ විදිහට දකින්න වෙයි කියලා මං කවදාවත් හිතුවෙ නැහැ. හිනා වෙමින් දඟකරමින් හිටපු ඔයා නිහඬව ඉන්නවා දැකපු මොහොතේ මං කොහොම දරාගන්නද රත්තරං …
පුංචි කාලේ ඉඳන්ම ඔයා හැමවෙලේම මගේ ලඟට වෙලා හිටියා. මං යන යන තැන පස්සෙන් එනවා... මගේ ලොකු අයියා කියාගෙන..අද ඒ තැන හිස් වෙලා චුටි…ඔයා නැති පාළුව දරාගන්න අමාරුයි. අයියා කවදද එන්නෙ කියලා ආසාවෙන් මග බලපු ඔයා, ඒති මං එනකල් ඉන්න ඔයා අද නැහැ… ඒක තමයි මගේ හිතට වැඩියෙන්ම දැනෙන දුක. ඔයා ලඟට දුවගෙන ඇවිත් අන්තිම පාරටවත් කතා කරන්න, අත අල්ලගන්න, තුරුල් වෙන්න මට බැරි උනා මගේ චුටි මල්ලී…
ඒ දුක මගේ හිතේ හැමදාම තියෙයි... රත්තරනේ අදටත් හිත පිළිගන්නෙ නැහැ ඔයා ආයේ එන්නෙ නැහැ කියලා. ඔයාගේ හිනාව, කටහඬ, පොඩි දඟ වැඩ හැමදේම අපේ මතක වල හැමදාම ජීවත් වෙනවා. ආයේ නොයෙන්නම ගියත් අපේ පුංචි පවුලේ පුංචි හැඩකාරයා ඔයා.. මගේ චානුවා මම හැමදාම ඔයාට ආදරෙයි මගේ චුටි මල්ලී… කවදාවත් අමතක වෙන්නෙ නැහැ. අමතක කරන්න ත් බැ..හැමදාම උබ මගේ චුටිමල්ලිම තමා මං උබේ ලොකු අයියා.....නිවන් සුව ලැබේවා මගේ චූටි මල්ලී චානු "
චානුකගේ දෙමාපියන් සහ හිතවතුන් අද ඉන්නේ දරාගත නොහැකි ශෝකයක. "ඊයේ ඉඳන් බලන් හිටියේ ඔයා හිනා වෙලා නැගිටලා එයි කියලා... ඒත් ඔයා අද නිහඬයි. අයියාගේ යාළුවෝ ආවාම දඟ කරන ඔයා අද ඇස් පියාගෙන ඉන්නේ කොහොමද?" යැයි පවසමින් ඔහුගේ හිතවතුන් තබන සටහන්වලින් පෙනෙන්නේ චානුක ඔවුන්ගේ ජීවිතවලට කෙතරම් සමීපව සිටියාද යන්නයි.
චානුක විජේසිංහ පුතණුවන්ගේ දේහය මේ වන විට මහනුවර කඳුරට මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා. ඒ පුංචි හැඩකාරයාට සමුදෙන අවසන් කටයුතු අද (2026.05.10) සවස 3.30 ට මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.