වචන හතරකින් ලියන්න බැරි, මුළු මහත් ලෝකයක් තරම් ආදරයක් දෙන මේ උතුම් චරිතය වෙනුවෙන් වෙන්වුණු "ලෝක මව්වරුන්ගේ දිනය" අදට (මැයි 10) යෙදී තිබෙනවා.
දස මසක් කුස හොවමින්, තමන්ගේ ලේ කිරි කර පොවමින් මවක් දරුවෙක් රකින්නේ තමන්ගේ ඇස් දෙක වගේමයි. ලෝකයේ වෙන කිසිම කෙනෙකුට දෙන්න බැරි ඒ රැකවරණයත් සෙනෙහසත් දරුවෙකුට ලැබෙන්නේ අම්මාගෙන් විතරයි. 1912 වසරේ සිට මැයි මාසයේ දෙවන ඉරිදා මව්වරුන්ගේ දිනය ලෙස ලොව පුරා සමරන්නට පටන් ගත්තේ අන්න ඒ අපිරිමිත ගුණයට උපහාරයක් විදිහටයි.
"අම්මා ගෙදර බුදුන්" කියලා අපි කියන්නේ නිකම්ම නෙවෙයි. දරුවන්ගේ ලෝකය ආලෝකවත් කරන්න තමන්ගේ මුළු ජීවිතයම කැප කරන ඇය, මහමෙරටත් වඩා දරු සෙනෙහසක් හිතේ දරාගෙන ඉන්නවා. අම්මාගේ ගුණ සුවඳ අකුරු කිහිපයකට කැටිකරන්න බැරි තරම් විශාලයි.
අපිට නම් උපන් දා ඉඳන් හැමදාම මව්වරුන්ගේ දිනය වුණත්, අද කාලයේ සමහරුන්ට අම්මාව අමතක වී යන බව රහසක් නෙවෙයි. තමන්ව මේ ලෝකයට බිහි කරන්නට අම්මා විඳපු ඒ දහසක් දුක් ගැහැටත්, ඇගේ අපිරිමිත සෙනෙහසත් අමතක කරන අතලොස්සකට අද දිනය හොඳ මතක් කිරීමක් වේවි.
"හුස්ම පොද පවතින තුරු නිම නොවන ඒ මහා සෙනෙහසේ යථාර්ථය - අම්මා!"
අද දවසේ විතරක් නෙවෙයි, ජීවිතේ හැමදාමත් අම්මාව සතුටින් තියන්න අපි හැමෝම උත්සාහ කරමු. ලෝකවාසී සියලුම ආදරණීය මව්වරුන්ට අපෙන් සුබ මව්වරුන්ගේ දිනයක්!