කොහොම වුණත් මල්සර රැඟුම් පෑ ඔහුට අවසානයේ මෙන්න මේ වගේ පාඩමක් උගන්වන්න ඇයට පුළුවන් වෙලා.
තරුණ කාන්තාවක විසින් අනංග ප්‍රේම කුරුල්ලකුට අමතක නොවන තෑග්ගක් දුන් අපුරූ පුවතක් ගැනයි මේ කියන්න යන්නේ..
තිස්තුන් හැවිරිදි දෙදරු පියකු වන මොහු තරුණ රුවැත්තියන්ට ආලවන්තකම් පාන අයෙක් වුණා. මේ ආලවන්තකම ඔහුගේ හිතමිතුරන් සියලූ දෙනාටම රහසක් නොවන බව කියනවා.
ඒ අතරේ තම මිතුරන්ගේ බිරින්දෑවරුන්ටද නොහොබිනා යෝජනා කරනු ලබන අශීලාචාර කෙනෙකු බවද ප්‍රචලිතයි. මොහු මේ අශීලාචාර ගතිය ඔවුන්ට කරදරයක් වී තිබුණා.
මෙදින මොහු ගම්මාන කීපයක සංචාරය කොට තම හිතවතකුගේ නිවසට ගොඩවුණේ ගමන් මහන්සියට ඔහු සමග තේ කෝප්පයක් පානය කර වචන බිඳක් කතා බහ කර යන අටියෙන්.
මෙම අවස්ථාවේ මිතුරා හෝ ඔහුගේ දරුවන් නිවසේ නොසිටි අතර නිවසේ සිටියේ මිතුරාගේ රූමත් තරුණ බිරිඳ පමණයි.
එසේ පැමිණි සැමියාගේ මිතුරාට නිවසට ගොඩවෙන ලෙස ආරාධනා කොට ආගිය තොරතුරු විමසා ඔහුට තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමටද ඇය අමතක නොකළා.
මේ කතා බහ අතරේ නිවසින් පිටව යාමට සුදානම්ව ඔහු යෝජනා කළේ නැවත මෙම නිවසට එන්නට අමතක නොවන සිහිවටනයක් තමන්ට ලබාදෙන්නේ නම් එය මැනවැයි පවසා ඇය සිටගෙන සිටි ස්ථානයට කාන්දමක් මෙන් ඇදී ගියා.
මිතුරා එන පොට හොඳ නැති බව දැනගත් ගෘහනිය , "අයියේ ඔහොම වාඩිවෙලා ඉන්නකෝ. මම ඔයාට අමතක නොවන තෑග්ගක් දෙන්නම්." යැයි පවසා ඇය නිවස තුළට ගියා. ගතවුවේ විනාඩි කීපයකි.
නිවස තුළට ගොස් මිතුරා වාඩිවී සිටි සාලයට පැමිණි ඇය "අයියේ මෙන්න මගෙන් ඔයාට මතක හිටින තෑග්ගක් මේක භාර ගන්න." යැයි කියමින් ඇය ඔහු අසලට ගොස් ගෙතුලේ සිට රැගෙන ආ භාජනයේ තිබු යම් දියරයක් ඔහුගේ හිස මතට හැලුවාය.
"ඒයි මේ මොනවද මේ ජරාව වගයක්නේ. ඕක නවත්වන්න." යැයි පවසමින් ඔහු වාඩිවි සිටි අසුනෙන් නැගිට, "ඊයා මේ ගෑනී මාව කහ දියරෙන් නාවලානේ. මගේ ඇඳුම්වලත් කහ වතුර ගෑවිලා. මම කොහොමද දැන් වැඩපලට යන්නේ. මේ ගෑනි මාව කෑවා." යැයි කියමින් ඇයට දෙස් දෙවොල් දෙන අතරේ කලින් ඇය සැලසුම් කළ පරිදි අසල ගෙවල් කීපයක කාන්තාවන්ද මෙම නිවසට ගොඩ වු අතර ඔවුන් පැවසුවේ මේ මොකද මේ මහත්තයා කහවතුර නාලා.
මොකද මහත්තයාගේ අපලයක් වත් දුරු කරලා ශාන්ති කර්මයක් ඔයා කළාද? කියායි නෑ නංගියෝ අනංගයකුට ඔන්න මම මතක හිටින තාලේ පාඩමක් ඉගැන්නුවා. ආයේ කිසිම ගෑනියෙකුට නොහොබිනා යෝජනා නොකරන්න යැයි. ඇය ඔවුන්ට පවසනවාත් සමගම ඔහු පැමිණි යතුරු පැදියේ නැගී යන්න ගියේ එම නිවසේ සිටි තරුණ කාන්තාවන්ගේ හූ හඬ මධ්‍යයේයි.
එදිනෙට පසු ඔහු වෙනත් ප්‍රදේශයකට ස්ථානමාරු ලැබ ගොස් ඇති බවත් අනංග රංගනයට තිත තබා ඇති බවත් හිත මිතුරන්ට ආරංචි වු බව කියයි.