වන අලි තර්ජනය මැද ජීවිතය ගැටගසා ගන්නා අසරණ මිනිසුන්ගේ ලෝකය තවත් අඳුරු කරමින්, වන අලි ප්‍රහාරයකින් පස් හැවිරිදි කුඩා දැරියක් මෙලොව හැරගොස් තිබෙන්නේ ඇය මිය යන මොහොතේවත් නොදැනුවත්වමයි.
ඊයේ (04) අලුයම අරලගංවිල, රත්මැල්තැන්න ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු වන අලියෙකු නිවසේ බිත්තියකට පහර දී තිබෙනවා.
එම අවස්ථාවේදී බිත්තිය අසලම නිදා සිටි ආර්.ඩී.සෙනිලි දිනෙත්මා නැමැති 5 හැවිරිදි පෙර පාසල් දැරිය එම බිත්තියටම යටවී තිබෙනවා. හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ඇය එම ස්ථානයේදීම අවසන් හුස්ම හෙළා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම අවාසනාවන්ත සිදුවීමට පෙර දැරියගේ මවට වන අලියාගේ ශබ්දය ඇසී තිබෙනවා. කලබලයට පත් වූ මව වටපිට බැලීමට විදුලි පන්දම (ටෝච් එක) දැල්වීමට උත්සාහ කර ඇති අතර, එම ආලෝකයත් සමඟ කෝපයට පත් වන අලියා නිවසේ බිත්තිය පෙරළා දමා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
වන අලි තර්ජනය ගැන වසර ගණනාවක සිට බලධාරීන් දැනුවත් කළද, තවමත් තමන්ගේ ජීවිතවලට ආරක්ෂාවක් නැති බව ප්‍රදේශවාසීන් පවසන්නේ දැඩි සංවේගයෙන්. අහිංසක දරු පැටවුන් මෙලෙස මියයන තුරු බලධාරීන් බලා සිටින්නේ දැයි ඔවුන් ප්‍රශ්න කර සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, සෙනිලි දියණියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි.