පසුගිය අප්‍රේල් මාසයේ අන්තර්ජාලයට එක්වුණු එක්තරා වීඩියෝවක් මේ දවස්වල මුළු ලෝකයේම මිලියන සංඛ්‍යාත ජනතාවකගේ දෑස් කඳුළින් තෙත් කරමින් තියෙනවා. ඒ, අහිංසක දියණියකගේ සහ බන්ධනාගාරගතව සිටින අම්මෙක්ගේ අතිශය සංවේදී හමුවීමක් නිසයි.
වයස අවුරුදු පහක විතර පුංචි දියණියක් තමන්ගේ පෙර පාසල් උපාධි ඇඳුමෙන් සැරසිලා බන්ධනාගාරයක් ඉදිරිපිටට පැමිණෙන්නේ තමන් ලැබූ ඒ ලස්සන ජයග්‍රහණය අම්මාට පෙන්වන්නයි. නමුත් ඒ දියණියව වැළඳගෙන සතුටු වෙන්න ඒ අම්මාට වරම් තිබුණේ නැහැ.
මාස 10ක් තිස්සේ තමන්ගේ දරුවාව අල්ලන්නවත්, සිපගන්නවත් බැරිවුණු ඒ අවාසනාවන්ත අම්මා, හිරගෙදර දෙවැනි තට්ටුවේ කුඩා කවුළුවකින් අත දාලා තමන්ගේ දියණියව ස්පර්ශ කරන්න උත්සාහ කරන ඒ දර්ශනය ඕනෑම කෙනෙක්ගේ හදවත සලිත කරවන එකක්.
බන්ධනාගාර නීති අනුව දරුවාට ඇතුළට ගිහින් අම්මාව හමුවෙන්න අවස්ථාව තිබුණත්, ඒ වෙනුවෙන් අරගෙන යන්න ඕනේ කෑම බීම ටිකවත් සපයාගන්න තරම් වත්කමක් මේ දුප්පත් පවුලට තිබිලා නැහැ. අන්තිමේදී ඒ ලස්සන උපාධි උත්සවය සීමා වුණේ හිරගෙදර කම්බි අතරින් දික්වුණු අම්මගේ අතකටත්, ජනේලයකින් කෑගහලා කරපු කතාබහකටත් විතරයි.
වැරදි තැනක, වැරදි වෙලාවක හිටපු නිසා මේ අම්මා හිරගත වුණත්, ඒ වෙනුවෙන් වැඩිපුරම වන්දි ගෙවන්නේ කිසිම වරදක් නොකරපු මේ අහිංසක දරුවා නේද කියලා අපිට හිතෙනවා. තාප්ප මොනතරම් උස වුණත්, නීති මොනතරම් තද වුණත් අම්මෙක්ගේ සුවඳ හොයන දරුවෙක්ගේ හිත හිරකරන්න කාටවත් බැහැ.
සමාජ මාධයෙන්