නමුත් අද ඒ සොඳුරු හඬ පෞරුෂයේ ප්‍රධාන බලකනුවක් ඇද වැටී තිබෙනවා. ඒ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ මැක්ස්වල් ධර්මරත්න මහතාගේ සමුගැනීමත් සමඟයි.
තම ආදරණීය අයියාගේ වෙන්වීම ගැන ඔහුගේ බාල සහෝදර, ප්‍රවීණ සංගීතවේදී මෙල්රෝයි ධර්මරත්න හිරු ගොසිප් අප සමඟ කළ සංවේදී කතාව ඕනෑම රසිකයෙකුගේ ඇසට කඳුළක් ගෙන එනවා.
මැක්ස්වල් ධර්මරත්න කියන්නේ ධර්මරත්න සහෝදරයෝ හතර දෙනාගෙන් උසම කෙනා වගේම දෙවැනියා. 1940 ඉපදුණු ඔහු ගායන ක්ෂේත්‍රයට එන්නේ ළමා කාලයේදීමයි. ලතා වල්පොලයන් "දුන්හිඳ හැලෙනා" ගීතය ගායනා කරන කොට, ඒ සඳහා කෝරස් ගායනයට තෝරා ගත්තේ මේ දක්ෂ පුංචි ළමයාවයි. ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ පටන්ම ඔහු ගායන තරගවලින් නිරන්තරයෙන් ජයග්‍රහණ ලැබූ අයෙක්.
1965 දී "ධර්මරත්න සහෝදරයෝ" කණ්ඩායම පටන් ගත්තාට පස්සේ ඔවුන්ගේ ජනප්‍රිය ගීත රැසක ප්‍රධාන කොටස් ගායනා කළේ මැක්ස්වල්. මෙල්රෝයි පවසන විදියට, ඔහුට තිබුණේ හරිම මිහිරි කටහඬක්.
"කලකට පෙර බෙත්ලෙහෙමේ"
"රාජකුමාරී"
"වැහිදාක ගලනෝදරේ"
"දෑසේ දොරින් ඇතුල් වී" මේ සෑම ගීතයකම තනිව ගායනා කරන කොටස්වලින් රසිකයන් පිනවූයේ මැක්ස්වල්ය.
ගායනයට පමණක් නොවෙයි, ඔහු චිත්‍රපට පසුබිම් ගායනයටත් දායක වුණා. "සමවත" කෙටි චිත්‍රපටයේ තේමා ගීතය වගේම 1978 දී මෙල්රෝයි සංගීතය කළ "පතිනි" චිත්‍රපටයේ විරිඳු පෙළ ගායනා කළේද ඔහුයි.
මැක්ස්වල් මහතා අවසන් වරට වේදිකාවක දැකගන්නට ලැබුණේ 2017 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති ප්‍රසංගයකදීය. මෙල්රෝයි පවසන අන්දමට, ඔහු හරිම නිහඬ, හරිම සෙමින් කතා කරන නිහතමානී පුද්ගලයෙක්.
වසර කිහිපයක් අසනීපව සිටි ඔහු ඊයේ දහවල් සිය නිවසේදී අවසන් හුස්ම හෙළා තිබෙනවා. 1987 දී රිය අනතුරකින් මියගිය රොනෙල් සහෝදරයාට පසුව, ධර්මරත්න සහෝදරයන්ගෙන් සමුගත් දෙවැනි සහෝදරයා ඔහුයි.
මැක්ස්වල් ධර්මරත්න මහතාගේ දේහය අප්‍රේල් 20 සඳුදා උදෑසන 9 සිට රාගම පේරලන්ද හන්දියේ පිහිටි ඩී.එම්. අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර තැබෙනවා. අවසන් කටයුතු අප්‍රේල් 21 අඟහරුවාදා පස්වරු 4 ට හැඳල කෙරවලපිටිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
පරපුරක ගීතවත් මතකයන් ඉතිරි කර සමුගන්නා මේ සොඳුරු කලාකරුවාණන්ට අපි මෝක්ෂ සුවය ප්‍රාර්ථනා කරමු!