සේරුනුවර, සෝමාවතිය රක්ෂිතය මැදින් ගලා බසින මහවැලි ගඟේ දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකුට සිදු වූ දෙයක් අදහාගත නොහැකියි.
මහින්දපුර ප්‍රදේශයේ පදිංචි 24, 34 සහ 35 හැවිරිදි වියේ පසු වූ මෙම තරුණයින් තිදෙනා, තම පියා සහ තවත් සහෝදරයෙකු සමඟ දිය නාමින් සිටියදී එකවරම දිය යටට ඇදී ගොස් තිබෙනවා. ඇසිපිය හෙලන සැණින් සිදු වූ මෙම අතුරුදන් වීමෙන් පියා සහ අනෙක් සහෝදරයා දැඩි කම්පනයට පත්ව ඇති අතර, අතුරුදන් වූ තිදෙනා ගැන මෙතෙක් කිසිදු තොරතුරක් නැහැ.
මේ අතර, කටුනායක ප්‍රදේශයේ සිට හබරාදූවට විනෝද චාරිකාවක් ආ තරුණයින් පිරිසකටත් මුහුදේදී අත්වූයේ බිහිසුණු ඉරණමක්. දිය නෑමට ගිය 21 සහ 26 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මුහුදු රළට හසුවී ඇති අතර, ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී ඔවුන්ව බේරාගෙන රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් ඔවුන් මෙලොව හැර ගොස් අවසන්.
හබරාදූව සහ සේරුනුවර ප්‍රදේශවලින් ඊයේ වාර්තා වූ මේ දියේ ගිලීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සනාථ කරන්නේ.