උත්සව සමයේ මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බැවින්, වතු කම්කරුවන්ට වැඩි මිලට අලෙවි කිරීම සඳහා සඟවා තිබූ රජයේ අනුමත මත්පැන් බෝතල් 120ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පවසනවා.
තලවකැලේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එන්.අයි. දිසානායකට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.
තලවකැලේ, හොලිරූඩ් වතුයායේ සැකකරු පදිංචි නිවසට යාබදව පිහිටි වසා දමා තිබූ වතු නිවසක තිබී රජයේ අනුමත මෙම මත්පැන් තොගය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ හතරහමාරක් (450,000) පමණ වන බව පොලිසිය තක්සේරු කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරු දැනට ඇප මත මුදා හැර ඇති අතර, නඩු භාණ්ඩ ලෙස මත්පැන් තොගය නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.