මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් පෙරළීමෙන් සිදු වූ මාරක අනතුරෙන් බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයකින් යුතුව කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි උණපානේ චන්ද්‍රසිරි හිමියෝද අද (10) පෙරවරුවේදී අපවත් වුණා.
පසුගිය සැප්තැම්බර් මස 29 වන දින රාත්‍රීයේ සිදුවූ එම අනතුරෙන් ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව විසු දෙස් විදෙස් හිමිවරුන් අට දෙනෙකු එදින අපවත් වූ අතර, උණපානේ චන්ද්‍රසිරි හිමියන්ගේ අපවත් වීමත් සමග එම අනතුරෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගියා.
එම අනතුරෙන් බරපතල තුවාල ලද චන්ද්‍රසිරි හිමියන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යාමට පවුලේ ඥාතින් කටයුතු කර තිබුණා.
රුසියානු ජාතික ධම්මරක්ඛිත , රුමේනියානු ජාතික ධම්මරංසි , ඉන්දීය ජාතික ධම්මගවේෂී යන විදෙස් හිමිවරුන් තිදෙනා සමග උඩවලව සත්තසුමන , නාවලපිටියේ උත්තරානන්ද , නුගේගොඩ විපස්සී ,මල්වානේගම සමිද්ධි , පන්නිපිටියේ ඉන්දෝහාස යන ලාංකීය හිමිවරුන් එම අනතුරෙන් අපවත් වූහ. ඉන්දෝහාස හිමියන් අපවත් වූයේ අනතුරෙන් දින දෙකකට පසුවයි.
එම අනතුරෙන් බරපතල තුවාල ලැබූ රාජගිරියේ ලෝකහිත සහ අනිවත්තේ සරණංකර හිමිවරුන් දෙනම මේවනවිට සුවපත්ව සිටින බවද වාර්තා වෙනවා.
චන්ද්‍රසිරි හිමියන්ගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව නාඋයන ආරණ්‍ය සේනාසනයේ දායක සභාව ප්‍රකාශ කළා.