ගාල්ල පැරණි වරායේ ජැටිය ආසන්න මුහුදේ තිබී 12 වන හෝ 13 වන සියවස්වලට අයත් යැයි සැලකෙන ගල් නැංගුරමක් හමු වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසනවා.
මෙම ස්ථානයේ පැරණි නැංගුරම් කිහිපයක්, නැංගුරම් ලෙස භාවිතා කළ එකට ගැටගැසූ කාලතුවක්කු දෙකක් ආදී අවශේෂ කිහිපයක් ම දක්නට ලැබී තිබේ.
කෙසේවුවද අවස්ථා කිහිපයක දී ම මුහුදු පුරාවිද්‍යාඥයන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබූ මෙම ගල් නැංගුරම 12 -13 වැනි සියවස් තරම් අතීතයට අයත් බව තහවරු කරගෙන ඇත්තේ පසුගිය දිනවල දී ය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මෙසේ කීවේය.
“මේ ස්ථානයේ ගල් නැංගුරමක් තිබෙන බව අප දැන සිටියා. වරින් වර යකඩ නැංගුරම්වල කොටස් ද හමුවුණා. ඒ නිසා මේක අලුත් දෙයක් වුණේ නැහැ. නමුත් පසුගිය දිනක අපි මේ නැංගුරම පරීක්ෂා කළා. ඒ අනුව අපි දුටුවා මෙය සිදුරු තුනක් සහිත නැංගුරමක් බව. මේ ආකාරයේ සිදුරු තුනක් සහිත නැංගුරම් භාවිතා කළේ 12 වැනි සහ 13 වැනි සියවස්වල යාත්‍රා කරපු චීන නෞකාවල සහ අරාබි නෞකාවල. ඒ අනුව මේ නැංගුරම එම කාලයට අයත් එකක් බව තහවරු කරගත්තා. මෙතන නැංගුරමක් පමණයි හමුවන්නේ. නැවක අවශේෂ දක්නට නැහැ.”